මිහිමත පියාසර කරපු විශාලතම ජීවියා!

ජිරාෆ් කෙනෙක් තරම් විශාල සත්වයෙකුට පිහාබන්න පුළුවන් නම් එය කෙතරම් විෂ්මජනකද ? එවැන්නක් නම් කවදාවත් සිදුවිය නොහැකි බව ඔබ සිතනවා ඇති. නමුත් මීට වසර මිලියන 66කට පමණ පෙර ජිරාෆ් සත්වයෙකු තරම් විශාල උරගයෙකු අහසේ පියාසර කරා.

අද අපිට දකින්නට ලැබෙන්නේ පියාසර කරන පෘෂ්ටවංශිකයින් විශේෂ දෙකක් පමණයි. ඒ කුරුල්ලන් සහ වවුලන්. නමුත් Mesozoic යුගයේදී තවත් පියාසර ජීවී විශේෂයක් සිටියා. එම ජීවී විශේෂය Pterosaurs ලෙස හඳුන්වනවා. ඩයිනෝසෝරස් සත්වයින්ට ලගින්ම නෑකම් කියන එම ජීවී විශේෂය අහසේ පියාසර කරපු ප්‍රථම පෘෂ්ටවංශිකයා ලෙසත් හඳුන්වන්නට පුළුවන්.

නොයෙකුත් ප්‍රමාණයන්ගෙන් යුත් එම ජීවී විශේෂයේ කුඩාම ජීවියා දුඹුරු වවුලෙකු තරම්. නමුත් විශාලතම Pterosaurs ජීවියා ඔබට හිතාගන්නවත් බැරි තරම් විශාලයි. එවැනි ජීවියෙකු පියාසර කරේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාඥයින් අදටත් පුදුමයට පත්වෙනවා.

එම ජීවියා පිළිබඳව පළමු වරට කතාවුනේ 1971 වර්ෂයේදීයි. මොකද එම වර්ෂයේදී තමයි ටෙක්සාස් වල බිග් බෙන් ජාතික උද්‍යානයෙන් විශාල ජීවියෙකුගේ අස්ථි කොටස් හමුවුනේ. වැඩිදුර පර්යේෂණවලදී එය වසර මිලියන 68ක් පැරණි Pterosaur ජීවියෙකුගේ පිහාටුවක් බව හෙළිවුණා. ටෙක්සාස් සහ මොන්ටානා වලින් තවත් පොසිල හමුවුනත්, සම්පූර්ණ ශරීරයේ විශාලත්වය දිස්වෙන සම්පූර්ණ පොසිලයක් මේවනතුරු හමුවී නැහැ. විද්‍යාඥයින් විසින් එම සත්වයා Quetzalcoatlus ලෙස නම් කර තිබෙනවා.

එම සත්වයා පිහාටු දිගහැරිය විට මීටර් 11ක් හෝ 16ක් පුරා පැතිරෙන බවට විද්‍යාඥයින් අතර මතයක් තිබෙනවා. එය Cessna 172 ගුවන් යානයක තටු අතර පරතරයට සමානයි. එසේත් නොමැති නම් අද අප පෘතුවියේ වෙසෙන විශාලතම අත්තටු සහිත පක්ෂියා වන Albatross පක්ෂියාගේ අත්තටු වලට වඩා තුන් ගුණයකටත් වඩා විශාල බව පවසන්නට පුළුවන්.

Quetzalcoatlus සත්වයා බිම හිඳගත් විට මීටර් 5ක් පමණ උසයි. සාමාන්‍ය ජිරාෆ් සත්වයෙකුත් මීටර් 5ක් හෝ 6කට වඩා උස යන්නේ නැහැ.

මෙතරම් විශාල සත්වයෙකුට පියාසර කළනොහැකි බවටද මතයක් තිබෙනවා. ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ එම ජීවීන් තටු හකුලාගෙන පොලවේ ඇවිදින්නට ඇති බවයි. නමුත් බහුතරයක් විද්‍යාඥයින් ඊට එකගවන්නේ නැහැ.

ජීවියෙකුට පියාසර කළහැකි ක්‍රම දෙකක් තිබෙනවා. ඒ අතරින් පහසුම ක්‍රමය Glinding ක්‍රමවේදය. උස තැනක් හොයාගෙන ඉන් පැන පියාසර කිරීමට අවශ්‍ය කරන වාරුව ලබාගැනීම Glinding ලෙස හඳුන්වනවා. පියාසර ලේනුන්, කටුස්සන් සහ ඇතැම් සර්පයින් පවා මෙම ක්‍රමවේදය භාවිතා කරනවා දැකගන්නට පුළුවන්.

නමුත් Quetzalcoatlus සත්වයා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කලබවට සාක්ෂියක් නැහැ. මොකද එම සත්වයින් වාසය කරේ පනින්න තරම් උසක් ඇති කඳු මුදුන් ආශ්‍රිතව නොවෙයි.

කුරුල්ලන් සහ වවුලන් පියාසර කරන්නේ තම අත්තටු සෙලවීමෙන් ලබාගන්නා බලයෙන්.

මෑතකදී සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව Pterosaurs පවුලේ ජීවීන් පියාසර කරේ ඉහත එක ක්‍රමවේදයකටවත් නොවෙයි. විශේෂඥයින් පවසන විදියට ඔවුන් භාවිතා කර තිබුනේ quad-launch ලෙස හඳුන්වන ක්‍රමවේදයක්. මොකද එසේ නොවෙන්න මෙවැනි ජීවියෙකුට පියාසර කල නොහැකියි.

Quad-launch යනු අත් තටු දෙක සහ කකුල් දෙක පොලවට තදකොට උත්කුටික වී ඉන් ලබාගන්නා බලයෙන් ඉදිරියට පිම්මක් පැන, පියාසර කිරීමට අවශ්‍ය කරන වාරුව ලබාගැනීමයි.

මෙම ක්‍රමවේදයට එම විශාල ජීවීන්ට පියාසර කරන්නට පුළුවන්. මොකද ඔවුන් කෙතරම් විශාල වුනත් වැඩි ශරීර බැරක් නැහැ. විද්‍යාඥයින් අනුමාන කරන විදියට හොඳින් වැඩුණු Quetzalcoatlus ජීවියෙකුගේ ශරීර බර 250kgක් පමණ වෙනවා. එය ජිරාෆ් සත්වයෙකුගේ බරෙන් 4න් 1ක් පමණයි. ඊට හේතුව එම සත්වයාගේ අස්ථි පද්ධතිය ඉතාමත්ම සිහින් වීම සහ air pockets වලින් පිරී පැවතීමයි.

තවත් එක් අධ්‍යයනයකට අනුව එම සත්වයා පැයට කිලෝමීටර් 130ක් තරම් වේගවත් බව පැවසෙනවා.

අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ මිහිමත පියාසර කල විශාලතම ජීවීන් පිළිබඳව දැනගැනීමට අපිට තවත් බොහෝ දේ ඇති බවයි.

Copyright Protected – Nodutu Lokaya

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *