තල්මසුන් මිහිමත ඇවිදපු කාලයකුත් තිබුනා.

මෙලොව වෙසෙන විශාලතම ජීවීන් අතරින් තල්මසුන්ට සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඇතැමුන් දරුණු විලෝපිතයින් වන අතර සමහරෙක් filter feeders ලෙස හඳුන්වනවා. Filter Feeders යනු ගැඹුරු සාගර පතුලේ රොන්මඩ තුල වෙසෙන Amphipods වැනි කුඩා ජීවීන් උරාබොමින් ජීවත් වෙන තල්මස් විශේෂයන්.

ඔවුන් අනුභව කරන ආහාර කුමක් වුවත්, තල්මසුන් කියන්නේ සාගරයටම සීමාවී වෙසෙන ජීවීන් විශේෂයක් බව ඔබ දන්නවා ඇති. නමුත් තල්මසුන් තම ගාත් වලින් මිහිමත ඇවිදපු කාලයකුත් තිබුනා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ.

ක්ෂීරපායී ඉතිහාසයේ වඩාත් සිත්ඇදගන්නා සංක්‍රාන්ති අවස්තාව ලෙස තල්මසුන්ගේ පරිනාමය හඳුන්වන්නට පුළුවන්.

මේවන විට සොයාගෙන තිබෙන පොසිල වලින්, එම සත්වයින් බළලෙකුට වඩා විශාල නොමැති කකුල් හතරේ කුඩා ශාකබහක්ෂක සත්වයෙකුගේ සිට යෝධ තල්මසෙකු දක්වා පරිනාමයවූ හැටි මනාව පැහැදිලි වෙනවා. සිදුවූ එම වෙනස අතිශයින්ම විශ්මයජනකයි ඉතාමත්ම වේගවත් ක්‍රියාවලියකි.

පසුගිය වසර මිලියන 50ක කාලය තුල හමුවූ පොසිල වලින්, තල්මසුන්ට සමාන පෙනුමක් ඇති නොයෙකුත් ප්‍රමාණයේ සත්වයින් මෙලොව වාසය කරබව හෙළිවී තිබෙනවා. එම සත්ව පොසිල හොඳින් අධ්‍යයනය කිරීමෙන් තල්මසුන් පරිනාම ප්‍රෙහෙලිකාව එකින් එක විසඳාගන්නට පුළුවන්.

මෙම විශ්මිත පරිනාමයේ මැද කොටස තුල තල්මසුන් Ambulocetus අවධියේ පසුවුණා. Ambulocetus යනු තියුණු දත් වලින් සමන්විත මුහුදු සිංහයෙකු තරම් විශාල ජීවියෙක්. එම ජීවියා මෙලොව වාසය කරේ මීට වසර මිලියන 48කට පමණ පෙරයි. ඒ අද අපි උතුරු ඉන්දියාව සහ පකිස්තානය ලෙස හඳුන්වන ප්‍රදේශය තුලයි. Ambulocetus natans ලෙස හඳුන්වන එම නමේ සිංහල අර්ථය ඇවිදින, පිහිනන තල්මසා යන්නයි.

විද්‍යාඥයින් පවසන විදියට එම ක්‍රියාවන් දෙකටම එකී සත්වයා සමත්කම් දැක්වුයේ නැහැ. මොකද බිම ගෑවෙන තරම් විශාල උදරයකින් සමන්විත එම ජීවියාගේ ගාත් පිහිටියේ සිරුරේ දෙපැත්තට වෙන්නයි. ඉතින් මෙම ශරීර ස්වභාවය නිසා අධික බරකින් යුත් එම විශාල සත්වයාට ගොඩබිම මත වේගවත්ව ඇවිදින්නට බැහැ.

ගොඩබිම සහ ගංගා ඩෙල්ටාවලත් අර්ධ වශයෙන් විසු එම සත්වයා මුවට සරිලන ඕනෑම ජීවියෙකු ආහාරය කරගනු ලැබුවා.

මෙම සත්වයා තරමක් හුරුපුරුදු බවක් ඔබට සිතෙනවා ඇති. මොකද මෙම ක්ෂීරපායි සත්වයා කිඹුලෙකු වගේ ගොඩබිම සහ ජලය දෙකේම වෙසෙනවා. එම සත්වයින් දෙදෙනාම එකිනෙකාට ඉතාමත්ම සමාන වුනත්, ඔවුන් එකනෙකාට ඍජුව නෑකම් කියන සත්වයින් නොවෙයි.

ඩොල්පින් සහ තල්මසුන් හඳුන්වන්නේ Cetaceans යනුවෙනි. එම සත්ව කණ්ඩායම අනෙකුත් ක්ෂීරපායි සත්වයින්ට වඩා ඉතාමත්ම වෙනස්. මොකද ඔවුන් පරිනාමය වුනේ වෙනස්ම ජීවී විශේෂයකින්.

1980 සහ 90 දශකයේදී පර්යේෂකයින් විසින්, තල්මසුන් සහ ඩොල්පින් සත්වයින්ගේ DNA අනුපිලිවෙල වෙනත් සත්වයින්ගේ DNA අනුපිළිවෙල හා සැසඳීමට කටයුතු කරා. එහිදී හෙළිවුණේ ඩොල්පින් සහ තල්මසුන්, හිපපොටේමස්, ඌරන් සහ මුවන් ඇතුලත් Artiodactyls ජීවී කණ්ඩායමට සමීප නෑකමක් ඇතිබවයි.

එම පර්යේෂණයට පසුව හමුවූ පොසිල වලින් එම මතය නිවැරදි බව වැඩිදුරටත් සනාතවුනා.

2007 වර්ෂයේදී ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයේ පාශානීය ධාතු විද්‍යාඥයින්ට වසර මිලියන 47ක් පැරණි බළලෙකු තරම් විශාල කුර සහිත සතෙකුගේ පොසිලයක් හමුවුනා. එම සත්වයා හඳුන්වන්නේ Indohyus ලෙසයි.

වැඩිදුර පර්යේෂණ වලදී එම සත්වයා සතුව ඝනකම කර්ණ අස්ථියක් ඇතිබව හෙළිවුණා. එවැනි ඝනකම කර්නක අස්ථියක් මේවන තුරු හමුවී තිබුනේ තල්මසුන්ගෙන් පමණයි. Involucrum ලෙස හඳුන්වන එම අස්ථිය ක්ෂීරපායී ජලජ සත්වයින්ට දියයටදී ශබ්දයන් ශ්‍රවරණයවීමට උදව් වෙනවා.

එම Indohyus සත්වයා සතුව Astragalus ලෙස හඳුන්වන විශේෂිත වළලුකර අස්තියක්ද තිබුනා. එම විශේෂිත අස්ථිය මෙතෙක් හමුවී තිබුනේ Artiodactyls සත්වයින්ගෙන් පමණයි.

ඉතින් මේ තොරතුරු වලින් මීට වසර මිලියන ගණනකට පෙර විසු Artiodactyls සත්වයින්ට නෑකම් කියන සත්වයෙකුගෙන්, අද අපි දකින තල්මසුන් පරිනාමය වෙන්නට ඇති බව වැඩිදුරටත් සනාත වෙනවා.

ඉතින් මෙම පරිනාම කාල රේඛාවේදී තල්මසෙකුට සමාන පෙනුමක් ලැබෙන්නේ Basilosaurus අවස්තාවෙදීයි. හමුවූ පොසිල වාර්තාවන්ට අනුව Basilosaurus සත්වයා මෙලොව වාසය කරේ මීට වසර මිලියන 50කට පෙරයි. එම සත්වයා නම් නැවත ගොඩබිමට ගමන් නොකර ජලයට සීමාවී වාසය කරා.

කුඩා ක්ෂීරපායි සත්වයෙකු විශාල ක්ෂීරපායි ජලජ ජීවියෙකු බවට පත්වුණේ ඇයි? එය අදටත් අභිරහසක්ව පවතිනවා. ඇතැම්විට මීට වසර මිලියන 40කට පමණ පෙර ගොඩබිමට වඩා සාගරය හොඳ ආහාර ප්‍රභවයක්ව පවතින්නට ඇති.

ඉතින් අද සාගරයට පමණක් සීමා වී වෙසෙන යෝධ තල්මසුන්, ගාත් හතරින් මිහිමත ඇවිදපු කාලයකුත් තිබුණු බව මතක තබාගන්න.

Copyright Protected – Nodutu Lokaya

Source – anmm.gov.au

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!