අදින් වසර බිලියන 4කට පසු පෘතුවියේ දවසක් ගතකරමු!

අප පෘතුවිය වසර බිලියන 4.5ක් තරම් පැරණි බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඒවගේම වසර බිලියන 4කට පෙර පෘතුවියේ දවසක් ගතකරාත් මතක ඇති. නමුත් අපි අද සුදානම් වන්නේ වසර බිලියන 4කින් පෘතුවියේ අනාගතය මොනවගේ වේවිද යන්න සොයා බැලීමටයි. එහි දවසක් ගත කරන එක මොනවගේ අත්දැකීමක් වේවිද ?

අදින් වසර බිලියන 4කට පසු පෘතුවියේ දවසක් පැය 40යි කිව්වොත් පුදුම වෙන්නට එපා. මොකද ඉතිහාසයේ සිට අද දක්වා පෘතුවියේ භ්‍රමණය ක්‍රමයෙන් මන්දගාමී වෙමින් තිබෙනවා. ඒවගේම අභ්‍යවකාශයේ සිට බැලුවොත් පෘතුවිය ඔබට හඳුනාගැනීමට පවා අපහසු වේවි. එය හරියට ගිනිගෙන දැවෙන අපායක ස්වරූපයක් ගන්නවා. ඊට හේතුව සුර්යාගේ අධික රශ්මිය නිසා පෘතුවියේ ග්‍රීන් හවුස් එෆෙක්ට් එක තුරන්ව යාමයි. එහි ප්‍රතිපලයක් වශයෙන් පෘතුවියේ උෂ්ණත්වය විශාල ලෙස ඉහල යනවා.

අද අප දකින විශාල සාගරයන් එදාට දකින්නවත් ලැබෙන එකක් නැහැ. මොකද ඒ වන විට පෘතුවියේ සියලුම සාගරයන් සිඳීගොස් තිබිය යුතුයි. අද අපිට දකින්නට තිබෙන මහද්වීප ඇතුළුව සෑම බිම් අගලක්ම අඳුරගන්නට බැරි තරමටම වෙනස් වී තිබේවි.

භූකාරක තැටි වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතරවීයාම නිසා, මහද්වීප තවදුරටත් සීරුමාරු වන්නේ නැහැ.

පෘතුවියේ මතුපිට මත සිටගැනීමට නම් ඔබට එදාට අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක් අවශ්‍ය වෙනවා. මොකද පෘතුවියේ අධික උෂ්ණත්වය විඳ දරා ගැනීම අතිශය දුෂ්කරයි. ඒවගේම මතුපිට දියකිරීමට තරම් ප්‍රභල උෂ්ණත්වයක් පවතින නිසා පොලව අද මෙන් දැඩි ස්වභාවයක් ගන්න එකක් නැහැ.

අද අප පෘතුවිය හානිකර විකිරණයන් වලින් ආරක්ෂා කරන චුම්භක ක්ෂේස්ත්‍රය, තවත් වසර බිලියන 4කින් බින්දුවටම පිරිහෙනවා. එම නිසා සුර්යාගෙන් සහ අභ්‍යවකාශයෙන් පැමිණෙන හානිකර විකිරණ කිසිම බාදාවක් නොමැතිවම පෘතුවිය මත පතිත වෙනවා. ඉතින් අභ්‍යවකාශ ඇඳුමක් නොතිබෙන්නට ඔබට පෘතුවිය මත වැඩිවෙලාවක් දිවිරැකගන්නට ලැබෙන්නේ නැහැ.

එම නිසා පෘතුවිය මතුපිටින් ක්‍ෂුද්‍ර ජීවීන් විශේෂයක්වත් සොයාගන්න එක කළුනික සොයන තරම් අතිශය දුෂ්කර දෙයක් වේවි. ඇතැම්විට එම කාලය වන විට පෘතුවිය මළවුන්ගේ ග්‍රහලෝකයක් බවට පත්ව තිබෙන්නටත් පුළුවන්.

පෘතුවිය මත පැවති දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ නටබුන් හොයාගන්න එකත් පහසු දෙයක් වෙන එකක් නැහැ. මොකද ඒවන විට එම නටබුන් කිලෝමීටර් ගණනක් පොලව යට වැළලී ගොස් හමාරයි. කිලෝමීටර් ගණනාවක් පොලව අභ්‍යන්තරයට හෑරුවත්, එම නටබුන් සම්පූර්ණයෙන්ම දිරාපත්වී ගොස් තිබෙන නිසා අද මිනිසා විසින් ඉදිකරපු කිසිවක් එදාට අඳුරගන්නවත් ලැබෙන එකක් නැහැ.

අද අපිට දිස්වෙන පැහැදිලි නිල් ආකාශය එදාට දිස්වන්නේ දුඹුරු පැහැයකින්. ඒවගේම මැග්මා ගලායාම හේතුවන් මුළු භූමියම ගිනිකඳු වලින් සමන්විත කාන්තාර බිමක් සේ දිස්වෙනවා.

පැහැදිලි අහසක් ඇති ස්ථානයකට පමණක් චන්ද්‍රයා දිස්වෙන අතර, චන්ද්‍රයා දිස්වන්නේ අදට වඩා ඉතාමත්ම කුඩාවටයි. මොකද සෑම වර්ශයකටම සුළු දුරක් චන්ද්‍රයා අපෙන් ඈතට යනවා. ඉතින් වසර බිලියන 4කින් චන්ද්‍රයාට සෑහෙන දුරක් ගමන් කරන්නට පුළුවන්. ඒවගේම චන්ද්‍රයාගේ මතුපිට දියවී යෑම නිසා හැඩය සම්පූර්ණයෙන්ම වෙනස්වී තිබේවි.

චන්ද්‍රයා කුඩාවට දිස්වුනත්, සුර්යානම් අදට වඩා කිහිප ගුණයකින් විශාලව වැඩි දීප්තියකින් දර්ශනය වෙනවා. එහි දීප්තිය කෙතරම්ද යත් එක එල්ලේ සුර්යා දෙස බලාගෙන සිටියොත් ඇස් අන්ධ වෙන්න වුනත් පුළුවන්.

එම කාලය වන විට සෞරග්‍රහමණ්ඩලයද අඳුරගන්නවත් බැරි තරම් වෙනස්වෙලා තිබේවි.

හටගත් සියලු දේ විනාශයට පත්වෙන නිසා වසර බිලියන 4කින් නුතන මිනිස් ශිෂ්ටාචාරය සහ සියලුම පෘතුවි ජීවීන්, පරමාණු දක්වාම ක්ෂයවී යනවා.

ඉතින් අදින් වසර බිලියන 4කට පසු පෘතුවියේ ස්වභාවය කෙබඳුද යන්න ඔබට හොඳින්ම අවබෝධ වෙන්නට ඇති.

Copyright Protected –  Nodutu Lokaya 2018

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!