ටින්ටින් කාටූන් එක නිර්මාණය කරන්න මූලික වුනේ සැබෑ ජීවිතයේ චරිතයක්?

ටින්ටින් කාටූන් චරිතය ලොකු කුඩා කා අතරත් ඉතාමත්ම ජනප්‍රියයි. ඔහුට අනෙකුත් කාටූන් වල ඔබ දකින ප්‍රධාන චරිතවලට මෙන් සුපිරි බලයක් නැහැ. නමුත් විමර්ශනශීලී බුද්ධියකින් යුත් එම වික්‍රමාන්විත තරුණ වාර්තාකරුවාගේ චරිතයට සැවොම ආදරය කරා.

1929 ජනවාරි 10 වෙනිදා තමයි ප්‍රථමවරට බෙල්ජියානු පුවත් පතක එය චිත්‍ර කතාවක් වශයෙන් ප්‍රකාශයට පත්වුණේ. ඉන් පසුව කාලයත් සමග එය චිත්‍ර කතාවක්, රූපවාහිනී කතාංගයක් සහ සජීවීකරන චිත්‍රපටියක් වශයෙන් ලොව පුරා අතිමහත් ජනප්‍රියට පත්වුනා.

නමුත් බෙල්ජියානු කාටූන් ශිල්පියෙකු අතින් ටින්ටින් චරිතය නිර්මාණය වීමට මූලික වුනේ කුමක්ද ? ඒ සඳහා මත රාශියක් ඉදිරිපත් වුනත්, ඒ සියල්ල අතරින් එක් මතයක් සියලු මත පරදවමින් නැගී සිටිනවා. එම මතයට අනුව ටින්ටින් චරිතය නිර්මාණය වන්නේ සැබෑ ජීවිතයේ Palle Huld කියන චරිතය මූලික කරගෙනයි.

ටින්ටින් චිත්‍ර කතාව ප්‍රථමවරට ප්‍රකාශයට පත්වීමට පෙර, 15 හැවිරිදි ඩෙන්මාක තරුණයෙකු පුවත්පතක් විසින් සංවිධානය කර තිබු Jules Verne අනුස්මරණ තරගයකින් ජයග්‍රහණය කර තිබුනා.

එම තරගයට ඇතුළු වීමට ඉඩ තිබුනේ ගැටවරවියේ පසුවුණු තරුණයින්ට පමණයි. එම තරගය ජයග්‍රහණය කිරීමට නම් ලොව වටා දින 80කින් නව කතා පොතේ එන ෆිලියස් ෆොග් ගේ වික්‍රමාන්විත සංචාරය, සියලු තරග කරුවන් නැවත වරක් තනි තනිව සම්පූර්ණ කල යුතුයි.

එම අදාළ සංචාරය සම්පූර්ණ කිරීමට දින 40ක කාලයක් ලබාදී තිබුණු අතර, ගුවන් යානයක සහය ලබාගත්තොත් තරගයේ නීති උල්ලංඝනය වෙනවා.

ඉතින් 1928 මාර්තු 1 වෙනිදා එම 15 හැවිරිදි ඩෙන්මාක තරුණයා තම සංචාරය ආරම්භ කරා. කෝපන්හේගන් වලින් ගමන ආරම්භ කල ඔහු, දුම්රියවල් සහ දුම්නැව් වල උපකාරයෙන් එංගලන්තය, ස්කොට්ලන්තය, කැනඩාව, ජපානය සහ සෝවියට් රුසියාව, පෝලන්තය සහ ජර්මනිය හරහා ලෝකය පුරාම සංචාරය කිරීමට සමත්වුනා.

එම තරගයෙන් ජයගත් ඔහු නැවත නැවත ඩෙන්මාකයට පැමිණියේ සැමගේ ආදරය දිනාගත් ජනප්‍රිය වීරයෙකු ලෙසයි. වාර්තා වෙන විදියට ඔහුට ලොව නන් දෙසින් සුභාෂිංශන 20,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුනා. ඔහු පසුව ඔහුගේ වික්‍රමාන්විත සංචාරය අලලා ග්‍රන්ථයක්ද රචනා කරා. ඒවගේම එය භාෂා කිහිපයකින්ම ප්‍රකාශයට පත්වුනා.

ඉතින් ඔන්න ඔය කාලයේදීම තමයි, ටින්ටින් චිත්‍ර කතාවත් ප්‍රථම වරට බෙල්ජියානු පුවත්පතක ප්‍රකාශයට පත්වුණේ.

ඒවගේම ටින්ටින් චිත්‍ර කතාවට තමන් මූලික වෙන්නට ඇති බවද ඔහු කිහිප අවස්ථාවකම ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ටින්ටින් කාටූන් චරිතය නිර්මාණය වීමට තවත් සැබෑ ජීවිතයේ චරිතයක් හේතු වෙන්නට ඇති බවට මතයක් පවතිනවා. එනම් ප්‍රංශයේ සංචාරක චායාරූප මාධ්‍යවේදියෙකු වන රොබර්ට් සෙක්සේ මහතායි. මොකද ඔහුගේ සංචාරයන් සහ ටින්ටින් චිත්‍රකතාවේ එන ස්ථානයන්ට වඩාත් හොඳින් ගැලපෙනවා.

කෙසේ වෙතත් අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ, ලෝකප්‍රසිද්ධ ටින්ටින් කාටූන් චරිතය නිර්මාණය වීමට මුලිකවුණු සිදුවීම හෝ චරිතය, මෙතෙක් නිල වශයෙන් සනාථවී නොමැති බවයි.

ඔබ හිතෙන විදියට ඉහත මතය සත්‍යයක් වෙන්න පුලුවන්ද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!