සඳ මත සිටවූ ඇමරිකා කොඩියට ඇත්තටම මොකද වුනේ ?

අප චන්ද්‍රයා මත ඇමරිකානු කොඩි 6ක් සිටුවා තිබෙනවා. එහි සිටවූ පළමු ඇමරිකානු ධජය වසර 45ක් තරම් පැරණියි. එම ඇමරිකානු ධජ වලට ඇත්තටම සිදුවුනේ කුමක්ද ? තාමත් ඒවා චන්ද්‍රයා මත යහතින් තිබෙනවා ඇත්ද ? අද නොදුටු ලෝකයෙන් අපි ඒ පිළිබඳව කතාකරමු.

ඇපොලෝ 11 මෙහෙයුමේ සිට ඇපලෝ 17 මෙහෙයුම දක්වා, ඇමරිකානු කොඩි 6ක් චන්ද්‍රයා මත සිටවීමට කටයුතු කර තිබුනා.

එම නයිලෝන් කොඩි නිෂ්පාදනය කරේ නිව් ජර්සි වල කොඩි නිෂ්පාදන සමාගමක් විසින්. වාර්තා වෙන විදියට එක් කොඩියක් නිෂ්පාදනය කිරීමට ඔවුන්ට එම කාලයේදී ඩොලර් 5.50ක් වැනි මුදලක් වැයවී තිබෙනවා.

චන්ද්‍රයා මුළු ලෝකයට අයත් පොදු දේපලක් විනා, එක් රටකට අයත් දේපලක් නොවෙයි. අන්තර්ජාතික පිටත අභ්‍යවකාශ පනත මගින් එය විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. ඉතින් චන්ද්‍රයා මත ඇමරිකානු ධජයන් සිටවූවා කියා එය ඇමරිකාවට අයිති බව ඉන් හැගවෙන්නේ නැහැ. එය මිනිස් වර්ගයාගේ විජයග්‍රාහී අවස්තාවක් සැමරීම සඳහා සිටවුණු ලැබූ සංඛේතයක් පමණයි.

පෘතුවිය මත කොඩි කණුවක් සිටුවීම ඉතාමත්ම පහසු දෙයක් වුනත්, චන්ද්‍රයා මත කොඩි කණුවක් සිටුවීමේදී සලකාබැලිය යුතු බොහෝ දේවල් තිබෙනවා. චන්ද්‍රයාගේ පසේ ස්වභාවය සහ ගගනගාමීන්ගේ පහසුව ඒ අතරින් කිහිපයක් පමණයි. ඉතින් ඇමරිකානු ධජය චන්ද්‍රයා මත සිටුවීමට හැකි ලෙස නිපදවීමට නාසා ඉංජිනේරුවන්ගේ සහ තාරකා භෞතිකවිද්‍යාඥයින්ගේ දැනුම භාවිතා කර තිබෙනවා.

මේ ඔබ දකින්නේ එලෙස නිපදවූ ඇමරිකානු කොඩිය එකලස් කරතිබෙන ආකාරයයි. බැලූ බැල්මට එය පෙනෙන්නේ interlocking සිරස් දණ්ඩකට අමුණා ඇති නයිලෝන් කොඩියක් ලෙසයි.

පෘතුවියේ වගේ වායුගෝලයක් සහ සුළගක් නොමැති නිසා, චන්ද්‍රයා මත සිටවූ කොඩිය චලනය වෙනවානම් චලනය වන්නේ, වෙනත් භාහිර සාධකයක බලපෑම මතයි. ගගන ගාමියෙකු විසින් කොඩිය ඔසවා තැබීම හෝ රොකට් එන්ජිමෙට් පිටවෙන වායු පහර උදාහරණයක් විදියට හඳුන්වන්නට පුළුවන්. එම නිසා කොඩිය නිවැරදිව රැඳවීමට තිරස් කූරක් වැනි යමක් ඊට එකතු කර තිබෙනවා. ඊට ස්තූතිවන්ත වෙන්න චන්ද්‍රයා මත සිටවූ ඇමරිකානු කොඩි වල පැහැදිලි චායාරූප ලබාගැනීමට හැකිවී තිබුනා.

ඇපලෝ 11 මෙහෙයුමේදී ඇමරිකානු ධජය සිටුවා යලි පිටත්වීමට සුදානම් වූ මොහොතේදී, රොකට් එන්ජිමෙන් නිකුත්වූ වායු පහරීන් ගැලවී විසිවුණු බව බස් ඇල්ඩ්රින් අදහස් දක්වා සිටියා. 2012 වර්ෂයේදී චන්ද්‍ර යානාවකින් ලබාගත් දත්ත වලින්, බස් ඇල්ඩ්රින්ගේ ප්‍රකාශය සත්‍ය බව හෙළිවුණා.

වසර 45කට පමණ පෙර චන්ද්‍රයා මත සිටවනු ලැබූ එම ඇමරිකානු කොඩි අද මොනවගේ ඇත්ද ?

මසකට දින 14ක් පුරාවට චන්ද්‍රයාගේ මතුපිට මතට සුර්ය ආලෝකය පතිත වෙනවා. එම කාලය අතරතුර චන්ද්‍රයාගේ මතුපිට උෂ්ණත්ව සෙල්සියස් අංශක 100ක් පමණ අගයක් ගන්නවා. ඒවගේම තවත් දින 15ක් චන්ද්‍රයා සම්පූර්ණ අඳුරේ පවතිනවා. එම කාලයේදී චන්ද්‍රයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 150ක් දක්වා අඩු වෙනවා. ඊට අමතරව චන්ද්‍රයාගේ මතුපිටට අන්තරීක්ෂ කිරණ සහ සුර්ය විකිරණද පතිත වෙනවා. එපමණක් නොවෙයි ක්‍ෂුද්‍ර උල්කාෂ්ම සහ ආරෝපිත අණු ප්‍රාහර වලටද චන්ද්‍රයා නිරන්තරයෙන් ගොදුරු වෙනවා.

මොහොතක් සිතන්න, ඔබ පොතක් හිරු එලියට නිරාවරණය කර තැබුවොත්, වර්ණයන් බොඳවී ගොස් සුදු පැහැයකට හැරෙන බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඉතින් චන්ද්‍රයා මත පවතින ඉහත කාලගුණ තත්වයන් යටතේ, නයිලෝන් කොඩියක් වසර 45ක් පුරාවට තැබුවොත් කුමක් සිදුවේවිද ? එම නයිලෝන් කොඩි බොහෝ කල් පවතින ලෙස නිර්මාණය කරනු ලැබූ ඒවා නොවෙයි. උත්සව අවස්තාව සඳහා ප්‍රදර්ශනයට තැබීමට පමණයි.

2014 වර්ෂයේදී විද්‍යාඥයින් පවසා සිටියේ, චන්ද්‍රයා මත සිටවූ එම ඇමරිකානු කොඩි මේ වන විට තනිකරම සුදු පැහැති නයිලෝන් ගොඩක් බවට පත්ව තිබිය යුතු බවයි. එසේත් නොමැති නම් සුර්ය විඛාදනය නිසා එය දුහුවිලි බවට පත්වෙන්නට ඇති බවයි. කොඩි කණු නිර්මාණය කර තිබෙන්නේ අනෝඩයිස් ඇලුමීනියම් වලින් නිසා, ඒවා නම් ආරක්ෂිතව තවමත් පවතිනවා ඇති.

මේ දේවල් විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක නිගමනයන් පමණයි. මොකද අඩි 3ක් හෝ 5ක් පමණ උස එම කොඩි, දුරේක්ෂයක් මගින්වත් අපිට දැකගන්නට බැහැ.

නමුත් 2012 වර්ෂයේදී LRO චන්ද්‍ර යානාව ඇපොලෝ මෙහෙයුම් ස්ථානයන් වෙත කැමරා කාචයන් එල්ල කරත්, සඳ මත සිටවූ ඇමරිකානු කොඩි පැහැදිලිව දර්ශනය වුනේ නැහැ. ඊට දර්ශනය වුනේ එම කොඩි වල බව සැක කළහැකි සෙවනැලි කිහිපයක් පමණයි. නමුත් එම සෙවනැලි දර්ශනය වී තිබුනේ ඇපලෝ 12 , 16 සහ 17 ස්ථානයන් වල පමණයි. නමුත් ඒ ඇත්තටම කොඩි වල සෙවනැලිමද යන්න සම්බන්ධයෙන්, සහතිකයක් දිය නොහැකියි.

ඇතැම් විට එම කොඩි වල සුදු පැහැවූ කුඩා කැබලි කිහිපයක් පමණක්, චන්ද්‍රයා මත නිසොල්මනේ පවතිනවා විය හැකියි.

(අනවසරයෙන් උපුටා ගැනීම තහනම්)

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!