මහාභාරතය විනාශ වුනේ පිටසක්වලයින්ගේ න්‍යෂ්ටික ප්‍රාහරයකින්ද ?

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව කතාකරන විට මොහෙන්ජෝ දාරෝ පෞරාණික නගරය පිළිබඳව කතා නොකරම බැහැ. එහි තේරුම මලගියවුන්ගේ පස් ගොඩැල්ල යන්නයි. 20වෙනි ශතවර්ෂය වන තුරු එවැනි නගරයක් ඇතිබව කිසිවෙකු දැන සිටියේ නැහැ. පුරාවිද්‍යාඥයින් විසින් එය සොයාගන්නා විට එය පැවතියේ අතහැරදැමූ ජනශුන්‍ය ප්‍රදේශයක් ලෙසයි.

එම නගරය පරික්ෂා කිරීමේදී එදා එහි වාසය කර මිනිසුන්, හිටි හැටියේම උන් හිටි තැන්වලම මියගොස් තිබෙන බව පුරාවිද්‍යාඥයින්ට අවබෝධ වුනා. එම මරණයන් කෙතරම් ක්ෂණිකව සිදුවී තිබුනාද යත්, වීදියක අත් අල්ලාගෙන ගමන් කරමින් සිටින අතර තුර මියගොස් සිටි අයද සිටියා.

හරප්පා ලෙස හඳුන්වන පෞරාණික නගරයද එලෙසම එක් රැයකින් විනාශයට පත්වූ නගරයක්. එම ශිෂ්ටාචාරයන් සමුලඝාතනය වුනු හේතුව කුමක්ද යන්න ඉතිහාසඥයින්වත් දන්නේ නැහැ.

හින්දු ආගමික මුලාශ්‍ර වල දෙවියන් සහ මිනිසුන් අතර සිදුවූ විශාල යුද්ධයක් ගැන සඳහන් කර තිබෙනවා. භයානක ආයුධ භාවිතා කරමින් සිදුවුණු එම යුද්ධය විසින් සියලු දෙනා අළු දුහුවිලි බවට පත්කර බව එහි විස්තර වෙනවා.

ඒ අසලවූ යෝධ ආවාටය කෙසේ නිර්මාණයවුනාද යන්න විස්තර කරන එකම න්‍යාය නම්, එකල දියුණුවේ හිනි පෙත්තටම ලගාවී සිටි ශිෂ්ටාචාරය මහා බලගතු න්‍යෂ්ටික පිපිරුමකින් විනාශයට පත්වෙන්නට ඇති බවයි. ඒ නුතන මිනිසා විසින් ප්‍රථම පරමාණු බෝම්බය සොයාගැනීමට වසර දහස් ගණනකට පෙරයි. මෙය මගේ පෞද්ගලික මතයක් නොව, ඇතැම් මතවාදීන් දරන මතයක් බව කරුණාවෙන් සලකන්න.

ක්‍රිස්තු පූර්ව නමවන සියවසේ රචිත මහාබාරත වීර කාව්‍යයෙන් විස්තර වන්නේ කුරුක්ෂේස්ත්‍ර යුද්ධය ගැනයි. සංස්කෘත භාෂාවෙන් ලියා තිබුණු එම ග්‍රන්ථයෙන් විස්තර වෙන සිදුවීම් ඊටත් වඩා වසර දහස් ගණනකට පෙර සිදුවූ සිදුවීම් බව පැවසෙනවා.

එම යුද්ධය සඳහා භාවිතා කර තිබුණු බලවත් ආයුධ ගැන එහි විස්තර වන්නේ මෙහෙමයි.

එය විශ්වයේ වූ සියලුම බලයන් වලට වඩා බලවත්. ඉන් පිටවෙන දුමාරය සහ දීප්තිය සුර්යයන් 1000ක් වුනත් පැරදවීමට සමත්වෙනවා. එම අවිය කුමක්ද කියන්න දන්නේ නැහැ. එය මහා අකුණු සන්නිපාතයක් බඳුයි. එම මරණයේ දුතයා විසින් මුළු මහත් ජාතියක්ම අළු දුහුවිලි බවට පත්කරා. මරණයට පත්වූවන්ගේ සිරුරු හඳුනාගැනීමට නොහැකි තරමට පිලිස්සී විකුර්ති වී තිබුනා. ගෙවල් වල වලං හට්ටි බිඳෙන්නට ගත්තේ කිසිම හේතුවක් නොමැතිවයි. අහසේ පියාසර කුරුල්ලන් සියලු දෙනා දිස්වුනේ එකම සුදු පාටකින්.

ඉන්දියානු ඉතිහාසඥයෙකු වන කිසාරි මොහාන් ගංගුලි මහතා පවසන්නේ, ඉහත විස්තරයට අනුව එය හිරෝෂිමා සහ නාගසාකි වලට හෙලනු ලැබූ පරමාණු බෝම්බ පිපිරුම සිහිපත් කරවන බවයි.

ෆ්‍රැන්සිස් ටේලර් සහ ලී හන්ඩ්ලිගේ මුලිකත්වයෙන් සිදුකරනු ලැබූ පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව, එම පෞරාණික නගරයෙන් හමුවූ ඇට සැකිලි ඉහල විකිරණශීලීතත්වයක් පෙන්වා තිබුනා. ඔවුන් පවසන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 50 වාරයක් විකිරනශීලී බවයි.

මේ ඔබ දකින යෝධ ආවාටය මීටර් 137ක් ගැඹුරු වර්ග කිලෝමීටරයක් පුරා පවතින එකක්. එම ආවාටය සම්බන්ධයෙන් අදහස් දක්වන conspiracy theorists වරුන් පවසන්නේ, වසර 12,000කට පෙර ඉන්දියාව තුල න්‍යෂ්ටික පිපුරුමක් සිදුවූ බවයි.

නමුත් නුතන මිනිසා පරමාණු තාක්ෂනය සොයාගනු ලැබුවේ 1930 සහ 1940 අතර කාලයේදී බව ඔබ දන්නවා ඇති. එම මතවාදීන් පවසන්නේ එම මහා පිපුරුම මිනිසුන් විසින් ඇතිකළ එකක් නොව, ඔවුන් දෙවියන් ලෙස හඳුන්වන ජීවීන් කොට්ටාශය විසින් ඇතිකළ එකක් බවයි.

මහාභාරත වීර කාව්‍යයේ විස්තර කරපු එම දෙවියන් ඇත්තටම කවුරු වෙන්න පුලුවන්ද ?

හින්දු අගාමික පුරාන මුලාශ්‍ර වලට අනුව එදා අදහාගත නොහැකි තරම් දියුණු තාක්ෂණයක් පැවතියා. Vimana ලෙස හඳුන්වන දේව රථ හොඳම උදාහරණයක්. විමාන කියන සංස්කෘත වචනයට විවිධ අර්ථයන් තිබෙනවා. අහසේ පියාසර කරපු විමාන ලෙස හඳුන්වන මාලිගාවන් ගැනද එහි විස්තර වෙනවා. අප රාවනා රජුටද මෙවැනිම පියාසර වස්තුවක් පැවති බව ඔබ දන්නවා ඇති? ඉතින් එදා ඉන්දියාව අළු දුහුවිලි බවට පත්වුණේ බලගතු රාවනා දෙවියන්ගේ අවියකින් වෙන්න බැරිද ?

නමුත් එරික් වොන් ඩැනිකන් වැනි මතදාරීන් නම් පවසන්නේ, මහාභාරතයේ දෙවියන් ලෙස හඳුන්වා තිබෙන්නේ පිටසක්වල යානාවන් වලින් ගමන් ගත් පිටසක්වල ජීවීන් බවයි. මොහෙන්ජෝ දාරෝ සහ හරප්පා වැනි නගර විනාශ කලේ එම පිටසක්වල ජීවීන් බවයි ඔහු අදහස් පළකරන්නේ. වෙනත් විදියකට කිව්වොත් පිටසක්වල ජීවීන් ඉන්දියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කර බවයි.

අපි ලිපියක් ඉදිරිපත් කොට පක්ෂ විපක්ෂ මත සියල්ලම ඇතුලත් කිරීමට කටයුතු කරනවා. මොකද නිගමනයකට පැමිණීමට පෙර ඔබ ඒ සියල්ලම පිළිබඳව ඔබ දැනුවත්ව සිටිය යුතුයි.

අවාසනාවකට මෙම න්‍යාය සතුව ගැටලු රාශියක් තිබෙනවා.

පිටසක්වල ජීවීන් විසින් ඉන්දියාවට න්‍යෂ්ටික ප්රාහරයක් එල්ලකරා කියන මතය සනාත කිරීමට, ඉහල මතධාරීන් Lonar Crater ආවාටය ප්‍රභල සාක්ෂියක් කරගත් බව ඔබ දන්නවා ඇති. නමුත් විශේෂඥයින් පවසන්නේ එම ආවාරටය මීට වසර 12,000කට පමණ පෙර ඇතිවූවක් නොවෙන බවයි. ඔවුන් පවසන පරිදි එය වසර 47,000ක් තරම් පැරණියි. ඇතැම්විට එය වසර මිලියන භාගයක් තරම් පැරණි වෙන්නටත් පුළුවන්. ලොව ප්‍රමුඛපෙලේ සියලුම විශ්වවිද්‍යාල වල විද්‍යාඥයින් එකහෙලා පවසන්නේ, එය Hyper velocity Impact එකක් නිසා ඇතිවූවක් බවයි. එසේත් නොමැතිනම් අධික වේගයෙන් පැමිණි වස්තුවක් පෘතුවියේ ගැටීම නිසා ඇතිවුණු ආවාටයක් බවයි. ඉතින් එය යුද්ධයකින් ඇතිවූවක් නොව, උල්කාපාත ගැටුමක් නිසා ඇතිවූවක් බව ඔබට වැටහෙනවා ඇති.

ඒවගේම මොහෙන්ජෝ දාරෝ, හරප්පා නගර න්‍යෂ්ටික පිපුරුමකින් විනාශවූ බව ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් පවසන්නේ එවැනි ප්‍රභල පිපුරුමක් සිදුවුනා නම්, අද එම නගරවල දකින්නට ලැබෙන මැටි වලින් ඉදිකරනු ලැබූ දුර්වල ගොඩනැගිලි වල නටබුන් ඉතුරුව තිබෙන්නට ඉඩක් නොමැති බවයි.

හිටිගමන් මිනිසුන් මියගියේ ක්ෂණිකව ඇතිවූ න්‍යෂ්ටික පිපුරුමක් නිසා කියන මතයද විශේෂඥයින් බැහැර කරනවා. ඔවුන් පවසන්නේ එලෙස මියගොස් සිටි ඇතැමුන්ගේ සිරුරු ශතවර්ෂයකට වඩා පැරණි ඒවා නොවෙන බවයි. ඒවගේම එම සිරුරු සොහොන් තුල මිහිදන් කරනු ලැබූ ඒවා බව මේ වන විට හෙළිවී තිබෙනවා.

මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණ වලින් සනාථවී තිබෙන පරිදි, එම ප්‍රදේශය තුල විකිරණශීලී බවක් ඇත්තේ නැහැ. ඒවගේම වසර 12,000ක් පුරාවට විකිරණශීලීත්වය නොනැසී පැවතීමට ඉඩක් නොමැති බවද ඔවුන් පවසනවා. ඒවගේම ෆ්‍රැන්සිස් ටේලර් සහ ලී හන්ඩ්ලි විසින් සිදුකරනු ලැබූ පර්යේෂණ වල තොරතුරු ඔවුන්ට ලැබී නොමැති බවද ඔවුන් පවසා සිටිනවා.

ඉතින් මේ අපි ඔබ වෙත ගෙන ආපු සියලු කරනු විමසා බලා, ඔබම අවසාන නිගමනයකට පැමිණෙන්න. ඔබ සිතන විදියට එදා ඉන්දියාව තුල න්‍යෂ්ටික පිපුරුමක් සිදුවුනා වෙන්න බැරිද ? එසේත් නොමැති නම් එය තනිකරම අසත්‍යයක්ද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!