එමිලියා ඉයර්හාට්ගේ අභිරහස් අතුරුදහන් වීම!

1937 වර්ෂයේ ජුලි දෙවෙනිදා ගුවන් නියමුවරියක් වූ එමිලියා ඉයර්හාට් සහ ඇයගේ යාත්‍රිකයා ෆ්‍රෙඩ් නූනන්, ලෝකය වටේ ගමන් කිරීමේ අරමුණෙන් ලොක්හීඩ් එලෙක්ට්‍රා ගුවන් යානය වෙත ගොඩවුනා.

ඔවුන් නිව් ගිනීයා වලින් පිටත්ව හව්ලන්ඩ් දූපත වෙත පියාසර කරමින් සිටියා. ඒ වන විට ඇය සිටියේ ආරම්භක ස්ථානයේ සිට කිලෝමීටර් 11,300ක් තරම් දුරින්. ඇයට නිවැරදි මග පෙන්වීමට ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ ඉටස්කා ලෙස හඳුන්වන බෝට්ටුවක්, හව්ලන්ඩ් දුපත ආශ්‍රිතව නැංගුරම්ලා සිටියා. නමුත් ඉටස්කා බෝට්ටුවේ පැවති සම්බන්ධතා දෝෂයක් නිසා, එමිලියා විසින් එවනු ලැබූ ගුවන් විදුලි පණිවිඩයට ලැබුනත්, ඇයට පිළිතුරක් ලබාදීමට හැකිවුණේ නැහැ.

එතැන් සිට අද දක්වාම පැවතියේ මාරාන්තික නිහඬතාවයක්. එදා සිට අද වන තුරු එමිලියා ඉයර්හාට් සහ ෆ්‍රෙඩ් නූනන් නැවත සොයාගත ගැනීමට හැකිවුණේ නැහැ. ඒවගේම ඔවුන්ගේ මළසිරුරුවත් මෙතෙක් හමුවුනේ නැහැ.

එමිලියා ඉයර්හාට්ට ඇත්තටම සිදුවුනේ කුමක්ද ?

එම අතුරුදහන් වීම සිදුවෙන විට ඇය එකල ඇමරිකාවේ සිටි කාගේත් සිත්ගත් ගුවන් නියමුවරියක්ව සිටියා. ඇය පියාසර වාර්තාවන් කිහිපයක්ම බිඳහෙලීමට සමත්වී තිබුනා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එපමණක් නොවෙයි ඇය ලේකිකාවක් වන අතර පර්ඩු විශ්වවිද්‍යාලයේ උපදේශිකාවක් විදියටත් සේවයකරා. ඇය කාන්තා ගුවන් නියමු සංවිධානයක් ආරම්භ කරතිබු අතර, ජාතික කාන්තා පක්ෂයේ සාමාජිකාවක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්.

වයස අවුරුදු 40 සම්පූර්ණ වෙනවාත් සමගම ඇය අයිතිහාසික පියවරක් තැබීමට තීරණය කරා. එනම් සමකයට ආසන්නයෙන් ලෝකය වටේම පියාසර කිරීමයි. එය අයගේ අවසාන ගමන වෙන බව නම් ඇය කිසිවිටෙකත් නොසිතන්නට ඇති.

ඇයගේ ගුවන් යානය අවසාන ස්ථානය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නොතිබීම හේතුවෙන්, අතුරුදහන් වීම සම්බන්ධයෙන් නොයෙකුත් මත ඉදිරිපත් වුනා.

ඇතැම් මතධාරීන් පවසන්නේ එමිලියා ඉයර්හාට් ජපානයේ ඔත්තු බැලීම සඳහා පිටත්වුණු, හිටපු ඇමරිකානු ජනපති ෆ්රෑනක්ලින් රූස්වෙල්ට්ගේ ඔත්තු කාරියක් බවයි. එම ගමන අතරතුරදී ජපන් හමුදාව විසින් ඇයව මරාදමන්නට ඇති බව හෝ සිරකරන්නට ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

1967 වර්ෂයේදී මේජර් ජෝසප් ජර්වෙස් තවත් මතයක් ඉදිරිපත් කරා. එනම් යුද්ධයෙන් පසුව ඇය අයිරීනි ක්‍රේග්මයිල් යනුවෙන් වෙනත් නමකින් ඇමරිකාව වෙත පිවිසි බවයි. නමුත් අයිරීනි ක්‍රේග්මයිල් එම චෝදනවා එකහෙලා ප්‍රතික්ෂේප කරා. එම නිසා එම මතය ක්‍රමයෙන් ප්‍රතික්ෂේප වුනා.

ඇයගේ අතුරුදහන් වීම විස්තර කරන ජනප්‍රියම මතය වුනේ, ඇය ආරක්ෂිතව අසලවූ ගාඩ්නර් දුපතට ගොඩබාන්නට ඇති බවයි. අද එම දූපත හඳුන්වන්නේ නිකුමරෝරෝ ලෙසයි. අයගේ අවසාන පණිවිඩය ලෙස සැලකෙන්නේ (we are on the line 157- 337 , we are running north and south) යන්නයි. ඉහත සඳහන් කරන ලද නිකුමරෝරෝ දුපත වැටී තිබෙන්නේද එම මුහදු තීරය තුලයි.

TIGHAR ලෙස හඳුන්වන අන්තර්ජාතික සංවිධානයක් 1989 වර්ෂයේදී ඉයර්හාට් ව්‍යාපෘතිය ආරම්හ කරා. ඔවුන්ගේ අරමුණ වුනේ සාක්ෂි සාධක ඇසුරෙන් එම න්‍යාය සනාත කිරීමයි. රිචර්ඩ් ගිලෙප්සි සහ ඔහුගේ කණ්ඩායම අදාළ දුපත වෙත 10 වතාවක් ගමන් කොට, සාක්ෂි එකතුකර ගැනීමට කටයුතු කරා. එහිදී ඔවුන්ට ගුවන් යානයක කැබලි කිහිපයක් සහ අස්ථි කොටස් කිහිපයක්ද හමුවී තිබුනා. එම කොටස් එමිලියා ඉයර්හාට්ගේ සහ ඇයගේ ගුවන් යානයේ ඒවාද යන්න තහවුරු කරගැනීමට විශේෂඥයින් පිරිසක් පරීක්ෂණ සිදුකරා.

නමුත් ගුවන් යානා අනතුරු විශේෂඥයෙක් වන ගේරි ලපුක් මහතා නම්, ඔවුන්ගේ එම න්‍යායට එකගවුනේ නැහැ. ඔහු පවසන්නේ එහි ලගාවීමට තරම් ඉන්ධන ඉයර්හාට්ගේ ගුවන්යානයේ නොතිබුණු බවයි. ඒවගේම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ TIGHAR කණ්ඩායම විසින් සොයාගත් කොටස් 1939 සහ 1963 කාලයේදී එහි වාසය කරපු මිනිසුන්ට අයත් ඒවා විය හැකිබවයි.

1939 ජනවාරි 5 වෙනිදා ඉයර්හාට් මියගොස් ඇතිබව නිලවශයෙන් ප්‍රකාශයට පත්කරා. අයගේ අතුරුදහන් වීමට හේතූන් ලෙස සැලකුවේ ගමනාන්තය පිළිබඳව නොදැන සිටීම, ඉන්ධන නිමවීම සහ සාගරයේ ගිලීම වැනි දේවල්. නමුත් එම සරල පිළිතුර පිළිගැනීමට නම් බොහෝ දෙනෙක් සුදානම් නැහැ.

එමිලියා ඉයර්හාට්ගේ අවසාන ගුවන් ගමන හා සම්බන්ධ මිනිසුන් සිය ගණනක් පමණ සම්මුඛ පරීක්ෂණයට ලක්කොට ලබාගත් දත්ත විශ්ලේෂණය කරමින්, විශේෂඥයින් පවසා සිටියේ ගුවන් යානය අනතුරට පත්ව මුහුදේ ගිලී යන්නට ඇතිබව පවසන න්‍යාය නිවැරදි විය යුතු බවයි.

අතුරුදහන්වීම සිදුවී මේ වන විට වසර 80ක් පමණ ගතවී තිබෙනවා. නමුත් එය අදටත් මුළු ලෝකයම පුදුමයට පත්කිරීමට සමත්වූ අභිරහසක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඔබ සිතන විදියට මෙම අතුරුදහන් වීම පිටුපස ඇති සැබෑම හේතුව කුමක් වෙන්න පුලුවන්ද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!