සයිබෝග් වරු ලෝකය ආක්‍රමණය කරනවා!

2015 වර්ෂයේදී ඊශ්‍රායල ජාතික මහාචාර්යවරයෙකු වූ Yuval Noah Harari මහතා පැවසු අනාවැකියක් ලොව ප්‍රධාන සිරස්තලයක් බවට පත්වුනා. එනම් තවත් වසර 200කින් මිනිසුන් දෙවියන් මෙන් බලවත් සයිබෝග් වරු බවට පත්වෙන බවයි.

ඔහු පවසන පරිදි ජීවවිද්‍යා පරිචාරණය, සහ ජාන ඉංජිනේරුවිද්‍යාව වැනි සයිබෝග් තාක්ෂනයන් ලබාගැනීමට හැකිවන්නේ ලොව ධනවත්ම පුද්ගලයින්ට පමණයි. දුප්පත් මිනිසුන් මියගියත් ලොව ධනවත් පුද්ගලයින් පමණක් සයිබෝග් තාක්ෂණයේ පිහිටෙන් ලෝකය තුල වාසය කරනු ඇතිබව ඔහු විශ්වාස කරනවා.

සයිබෝග් තාක්ෂනයෙන් සිදුකරන්නේ මිනිස් සිරුරට biomechatronic ලෙස හඳුන්වන යාන්ත්‍රික කොටස් සම්බන්ධ කරමින්, භාගයක් මිනිසෙකු සහ බාගයක් යන්ත්‍රයන් වන සයිබෝග්වරු නිර්මාණය කිරීමයි.

විශ්වාස කරන්න, එම විප්ලවය දැනටමත් සිදුවෙමින් තිබෙනවා.

2004 වර්ෂයේදී නීල් හාබිසන් ලොව ප්‍රථම සයිබෝග් වරයා ලෙස මුළු ලෝකයේම අවදානය දිනාගැනීමට සමත්වුනා. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ගෙන බැලුවොත් ස්ථීර වශයෙන් හිසට සවිකර තිබෙන ඇන්ටනාවක් වැනි යමක් දැකගන්නට පුළුවන්. එම ඇන්ටනාව සහිතව ලබාගත් චායාරූපය ගුවන් ගමන් බලපත්‍රය සඳහා භාවිතා කිරීමටද බ්‍රිතාන්‍ය රජය විසින් ඔහුට අනුමැතිය ලබාදී තිබෙනවා.

ඔහු උපතලබුවේ වර්ණ අන්ධතාවය ලෙස හඳුන්වන දුර්ලභ රෝගී තත්වයක් සමගයි. එම නිසා ඔහුට පෙනෙනුනේ කලුසුදු වර්ණයන් දෙක පමණයි. නමුත් හිස්කබල තුලට බද්ධ කරනු ලැබූ ඇන්ටනාවට ස්තූතිවන්ත වෙන්න ඔහුට වෙනත් වර්ණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකිවුනා. ඊට අමතරව දුරකථන ඇමතුම් කෙලින්ම හිස්කබල තුලටම ලබාගැනීමටද ඔහුට හැකියාව ලැබුනා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

1998 වර්ෂයේදී සයිබර්නටික්ස් මහාචාර්ය වරයෙකු වූ කෙවින් වෝවික්, ඔහුගේ එක් අතකට යාන්ත්‍රික උපකරණයක් සවිකරගනු ලැබුවා. එම උපකරණය විසින් ඔහුගේ ස්නායු පද්ධතිය කෙලින්ම පරිගණකයක් හා සම්බන්ධ කරනවා. ඊට ස්තූතිවන්ත වෙන්න ඔහුට ඔහු අසලවූ light bulbs, heaters සහ computers දුරස්තකව පාලනය කිරීමට හැකිවී තිබුනා.

ඒවගේම DARPA ආයතනය විසින්, අංශබාගය වැළඳුනු රෝගීන්ට ඔවුන්ගේ මනසින් රොබෝ අතක් පාලනය කිරීමට හැකි සුවිශේෂී තාක්ෂනයක් හඳුන්වාදී තිබෙනවා. මනසින් පාලනය කරනවාට අමතරව එම රොබෝ අත්වලින් ලැබෙන සංවේදනයන් කෙලින්ම මොලයට සැපයීමටද ඊට හැකියාව තිබෙනවා.

දියුණුවෙමින් පවතින් මෙම සයිබෝග් තාක්ෂනය පිළිබඳව අදහස් දක්වන, ගූගල් ආයතනයේ ඉංජිනේරු අධ්‍යක්ෂ රේ කර්ස්වයල් මහතා පවසා සිටින්නේ, මිනිසා කෙමෙන් මනුෂ්‍යත්වය ඉක්මවා යන කෘතීම බුද්ධිය තාක්ෂනය වෙත ගමන් කරමින් සිටින බවයි. ඔහු ඉන් අදහස් කරන්නේ 2030 පමණ වන විට මිනිසා කෘතීම බුද්ධියෙන් සමන්විත සයිබෝග් වරුන් බවට පත්වෙන බවයි.

දියුණු වෙමින් පවතින නැනෝබොට්ස් තාක්ෂනය විසින්, යම් දිනක මිනිස් මොලය කෙලින්ම අන්තර්ජාලය වෙත සම්බන්ධ කරොත්, එවිට අන්තර්ජාලයේ වූ cloud එකක මතකයන් ගබඩාකිරීමට හැකිවෙන අතර, මොලයේ ධාරිතාවයද වැඩිකරගන්නට පුළුවන් වේවි.

ඇමල් ග්රැෆ්ස්ට්ර් යනු භයානක අත්හදාබැලීම් සිදුකරන බයෝහැකර් කෙනෙක්. ඔහු මිනිසුන් සයිබෝග් වරු බවට පත්කිරීමට සමත් උපකරණ අන්තර්ජාලය තුල විකිණීමට තබා තිබෙනවා. ඩොලර් 40ක් වැනි මුදලකට වුනත් ඉන් එක් උපකරණයක් මිලදී ගන්නට පුළුවන්. මේ වන විට මිනිසුන් දහස් ගණනක්, අවට උපකරණ හා සම්බන්ධ විය හැකි මිනිස් සිරුර තුලට සවිකරණ උපකරණ ඔහුගෙන් මිලදී ගෙන තිබෙනවා.

එම උපකරණයක් අත තුලට සවිකරගත් පසුව, එය මුරපදයක් හෝ යතුරක් විදියට වුනත් භාවිතා කරන්නට පුළුවන්. ඒවගේම යතුරු පැදිය අතින් ස්පර්ශ කල සැනින් බලගැන්වීමටද හැකියාව තිබෙනවා. ඔහු පවසන පරිදි මිනිසා යම් දිනක සයිබෝග් වරු බවට පත්වෙන එක කිසිලෙසකින්වත් වැළක්විය නොහැකි දෙයක් බවයි.

මිනිසා එදා ගල් වලින් ආයුධ නිෂ්පාදනය කරගත්තේ කාගේවත් බලකිරීමකට නොවෙයි. එය අවශ්‍යතාවය අනුව මිනිසා විසින් ස්වභාවයෙන්ම සිදුකරපු දෙයක්. ඒවගේම සයිබෝග් තාක්ෂනය සිරුරු තුලට කැන්දාගන්නේද මිනිසා දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් ලෙසයි.

අපි නොදන්නවා වුනාට මෙවැනි සයිබෝග් වරු අපි අතරම සිටිනවා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ වන විට පාකින්සන් රෝගයෙන් පෙලෙන පුද්ගලයින් 30,000ක් තරම් පිරිසක්, Brain implants සවිකරගෙන තිබෙනවා. මොකද එම උපකරණ විසින් පාකින්සන් රෝගී තත්වයේ රෝගී ලක්ෂණයන් අවම කිරීමට කටයුතු කරනවා.

න්‍යායාත්මකව බැලුවොත් ඔවුනුත් සයිබෝග් වරු ලෙස හඳුන්වන්නට පුළුවන්, නමුත් එය සදාචාර සම්පන්න වන්නේ නැහැ.

මේ වන විට සයිබෝග් තාක්ෂනය වෙත ඇමරිකානු හමුදාවේ අවදානය යොමුවී තිබෙන බව ඔබ දන්නවාද ? ඔවුන්ගේ අරමුණ සුපිරි සොල්දාදුවන් බිහිකිරීමයි. මෙම තාක්ෂනයට ස්තූතිවන්ත වෙන්න සොල්දාදුවෙකු සහ රොබොටික් ආයුධ පද්ධතියක් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්. මේ වන විට ඔවුන්ගේ ප්‍රධානම අරමුණ සොල්දාදුවෙකුට අමතර රොබෝටික් සැකිලි පද්ධතියක් සවිකිරීම සහ, සිතුවිලි වලින් ආයුධ පාලනය කිරීමට හැකියාව ලබාදීමයි.

නමුත් විශේෂඥයින් නම් අනතුරු අගවන්නේ හමුදා ක්ෂේස්ත්‍රය තුලට කෘතීම බුද්ධිය සම්බන්ධ කරගැනීමෙන්, නොසිතූ විනාශකාරී ප්‍රතිපලයක් ගෙනදිය හැකි බවයි.

නමුත් බොහෝ දෙනෙක් පවසන සිටින පරිදි , දෙවියන් තරමට බලවත් සුපිරි මිනිසුන් නිර්මාණය කිරීමට සයිබෝග් තාක්ෂණයට හැකියාව තිබෙනවා.

ඔබ සිතන විදියට යම් දිනක මෙම සයිබෝග් වරු පමණක් ලෝකයේ ඉතුරුවේවිද ?

You may also like...

1 Response

  1. Shanu says:

    Elaz , dgatama danna mewage post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!