ලෝක ඉතිහාසයේ ලොකුම වංචාව රත්‍රන්ද ?

වසර 2500ක් පුරාවට මුදල් විදියට රත්‍රන් භාවිතා වුනා. රත්‍රන් වල අගය සැමවිට ස්ථාවර අගයක පවතින නිසා සෑම රටක්ම සහ බැංකුවක්ම රත්‍රන් ආයෝජනයට නැඹුරුවී තිබෙනවා. අද වන විට ලොව පුරා වූ සමස්ත රත්‍රන් වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 8කටත් වඩා වැඩියි. කෙටියෙන්ම කිව්වොත් රත්‍රන් ලෝක ආර්ථිකයේ වටිනාම කොටසක් බවට පත්වී තිබෙනවා.

නමුත් Gold Anti-Trust Committee ඒකේ ලේඛකාධිකාරී ක්‍රිස් පවෙල් මහතා නම් පවසන්නේ, ලෝකය තුල ඇතිබව කියන රත්‍රන් වලින් සියයට 80ක් තරම් ප්‍රතිශතයක් සැබෑවටම නොපවතින බවයි. ඔහුගේ මතය නිවැරදි නම් එය ඉතිහාසයේ ලොකුම වංචාව ලෙස හඳුන්වන්නට පුළුවන්.

සෑම වසරකම රත්‍රන් ටොන් 2,000ක් පමණ කැනීම් කරනවා. ඉන් හරි අඩක් රන් ආභරණ බවට පත්වෙන අතර ඉන් 10න් කොටසක් කර්මාන්ත නිෂ්පාදන සඳහා යොදාගනු ලබනවා. ඒවගේම ඉන් 3න් එකක් තරම් කොටසක් ලොව ප්‍රධාන පෙලේ බැංකු විසින් මුල්‍ය අරමුදල් වශයෙන් ගබඩාකර තබාගනු ලබනවා.

වෙළඳපොළ තුල සෑම දිනකම රත්‍රන් මිලදී ගැනීම සහ විකිණීම වැනි ගනුදෙනු සිදුවෙනවා. එම රත්‍රන් ගනුදෙනු සඳහා සාමාන්‍ය පුද්ගලයින් වගේම ලොව ප්‍රමුඛ පෙලේ බැංකුද සහභාගී වෙනවා. අනෙකුත් භාණ්ඩයන් වගේම, රත්‍රන් වල මිලගණන් තීරණය වන්නේ ඒ සඳහා ඇති ඉල්ලුම මතයි.

අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය වගේම රත්‍රන්ද ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. මිනිස් ඉතිහාසය දෙස අවදානය යොමුකලොත් මේ වන විට රත්‍රන් ටොන් 170,000ක් පමණ කැනීම් කර තිබෙනවා. මිනිසා විසින් කණිනු ලැබූ එම සියලුම රත්‍රන් ඔලිම්පික් පිහිනුම් තටාක 3කට පුරවන්නට පුළුවන්. අපේ පොලවේ තිබෙන රත්‍රන් සංචිතය 2030 වර්ෂය වන විට සම්පූර්ණයෙන්ම නිමවීමට නියමිතයි. පසුගිය ශතවර්ෂ ගණනාව පුරාවටම රත්‍රන් වල මිල ක්‍රමයෙන් ඉහලගියා. ඉතින් භූගත රත්‍රන් නිධි නිමවූ විට රත්‍රන් මිල අදහාගත නොහැකි ලෙස ඉතාමත්ම වේගයෙන් ඉහල යනවා. නමුත් ඊට පෙර රත්‍රන් වෙළඳපොළ බිඳවැටීමට ඉඩ තිබෙනවා.

අපි ඉහත විස්තර කල පරිදි සෑම දිනකම ඩොලර් බිලියන ගණනින් වටිනා රත්‍රන් ගනුදෙනු සිදුවෙනවා. ක්‍රිස් පවෙල් මහතා පවසන පරිදි, වෙළඳ පොළ තුල සිදුවෙන රත්‍රන් ගනුදෙනු පාලනය වන්නේ මහාබැංකු විසින්. 2009 වර්ෂයේදී වෙළඳපොළ විශ්ලේෂකයෙකු අදහස් දක්වමින් පවසා සිටියේ, රත්‍රන් වලින් ගනුදෙනු කිරීම සඳහා අප සතු සමස්ත රත්‍රන් ප්‍රමාණය ටොන් 15,000ක් පමණක් බවයි. ඒවගේම ලන්ඩන් වෙළඳපොළ තුල සෑම දිනකම රත්‍රන් ටොන් 2,134ක් පමණ ගනුදෙනු වෙනවා. ඉන් අදහස් කරන්නේ ලොව සමස්ත ආයෝජන රත්‍රන් සන්චිතය, දිනපතා නොයෙකුත් පුද්ගලයින්ගේ අත්වලට පත්වෙන බවයි.

නමුත් හොඳින් සිතා බැලුවොත් යමෙකු රත්‍රන් මිලදී ගන්නේ අනාගත ආයෝජනයක් ලෙස නේද ? උදාහරණයක් විදියට අනාගතයේදී එහි වෙළඳ පොළ වටිනාකම වැඩිවෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්.

එම රත්‍රන් රඳවාතබාගන්නේ Bullion Trading Houses විසින්. නමුත් ඔවුන් රත්‍රන් මිලදී ගන්නා පුද්ගලයින්ගේ අතට රත්‍රන් ලබාදෙන්නේ නැහැ. ඒඩ්රියන් ඩග්ලස් කියන විශ්ලේෂකයා පවසන්නේ ඔබ රත්‍රන් මිලදී ගැනීමේදී, ඔබ ඇත්තටම මිලදී ගන්නේ රත්‍රන් නොව ඔබ සතුව රත්‍රන් ඇති බව පවසන ලියවිල්ලක් පමණක් බවයි. ආර්ථික විශ්ලේෂකයින් එය හඳුන්වන්නේ කඩදාසි රත්‍රන් ලෙසයි.

එම මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ දිනපතා අලෙවි වෙන රත්‍රන් ප්‍රමාණය අපි ලොව ඇති රත්‍රන් සංචිතයේ ප්‍රමාණය හා සසඳා බැලීමේදී, සෑම රත්‍රන් අවුන්සයකටම අඩුම තරමේ රත්‍රන් අයිතිකරුවන් 4ක් වත් ඇති බවයි. මේ පවසන දේවල් ඔබ ඔබේ නුවනින් ඉතාමත්ම පරීක්ෂාකාරීව විමසා බලන්න. ඉන් අදහස් කරන්නේ ඔවුන් අපිට විකුනන්නේ මිහිපිට නොපවතින රත්‍රන් බවයි.

2009 වර්ෂයේදී මෙවැනිම සිදුවීමක් සම්බන්දයෙන් ස්ටැන්ලි මෝගන්ට සේවාදායකයින් නඩු පැවරීමට කටයුතු කළා. ඊට හේතුව වුනේ ඔහු තම සේවාදායකයින්ට ඔහු සතුවවත් නොමැති වටිනා ලෝහ විකිණීමේ සිද්ධියක්. වසර 20ක් වැනි කාලයක් පුරාවට මෝගන් විසින් ආයෝජකයින්ට රත්‍රන්, රිදී ප්ලැටිනම් සහ පැලේඩියම් වැනි ලෝහයන් විකිණීමේ නිරතවී සිටියා. ආයෝජකයින් විසින් මිලදී ගනු ලබන එම වටිනා ලෝහයන් ගබඩාකර තබාගන්නාවටද ඔවුන්ගෙන් අමතරම් මුදලක් අයකර තිබුනා. නමුත් ඇත්තටම ඔහු ගබඩාකර තබාගත් වටිනා ලෝහයක් නැහැ. ඔහු ආයෝජකයින්ට ලබාදී තිබුනේ ඔවුන් වටිනා ලෝහයන් මිලදීගත් බව කියන ලියකියවිල්ලක් පමණයි. ඉතින් ආයෝජකයින් ඔවුන් මිලදී ගත් වටිනා ලෝහයන් ලබාගැනීමට උත්සහ කරනවිට ඔහුට ඔවුන්ට ලබාදීමට රත්‍රන්වත් රිදීවත් තිබුනේ නැහැ. නමුත් ඔහු කෙසේ හෝ නීතියෙන් බේරී තිබුනා.

ඉතින් අන්න එම සිදුවීමම තමයි අද ගෝලීය මට්ටමෙන් මහා පරිමාණයෙන් සිදුවන්නේ. පවතින රත්‍රන් සංචිත වලටත් වඩා වැඩියෙන් රත්‍රන් විකිණීමට කටයුතු කිරීම ආර්ථිකයට විශාල විනාශයක් ගෙන දෙන දෙයක්.

යම් හෙයකින් රත්‍රන් මිලදී ගත් පුද්ගලයින් එම රත්‍රන් ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියොත්, ඔවුන්ට ලබාදීමට ප්‍රමාණවත් ත‍රම රත්‍රන් ඔවුන් සතුව නැහැ. එවැන්නක් සිදුවුනොත් ඔවුන් සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස රත්‍රන් වල මිල අදහාගත නොහැකි ලෙස ඉහලයාමක්ද සිදුවෙනවා. එවිට රත්‍රන් මිලදීගැනීමට ප්‍රමානවත් තරම් මුදල් මුදල් කිසිම බැංකුවක නොමැති වේවි. එම නිසා ලොවපුරා මුදල් විශාල වශයෙන් අවප්‍රමාණය වෙනවා.

නමුත් ලෝකයේ රටවල් රත්‍රන් සම්මතය ප්‍රතික්ෂේප කිරීමට කටයුතුකළ විට, එසේත් නොමැති නම් රත්‍රන් වලට සාපේක්ෂව මුදල් වල වටිනාකම තීරණය කිරීම නතර කල විට, එය ආර්ථිකය මත බලපෑමක් ඇතිකරන එකක් නැහැ.

ඉන් බිඳවැටෙන්නේ රත්‍රන් වෙළඳ පොළ, රත්‍රන් නිෂ්පාදන සහ කැනීම් ආයතන පමණයි. ලෝක ආර්ථිකයට බලපෑමක් වන්නේ නැහැ.

ඉතින් ඇතැම් විශේෂඥයින් රත්‍රන් යනු ලෝක ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස හඳුන්වන්නේ මෙන්න මෙම හේතුව නිසයි. මේ පිළිබඳව ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!