සත්තුන්ට කතා කරන්න පුළුවන් වුනොත් ?

ඔබ ආදරණීය සුරතල් සත්වයාට කතාකරන්න පුළුවන් වුනානම් කියා ඔබට සිතෙන්නට ඇති. ඇතැම් සත්වයින් සමග අපිට ප්‍රාථමික මට්ටමෙන් සන්නිව්දනය කිරීමට හැකි වුනත්, සත්ව ලෝකයේ වෙසෙන බහුතරයක් වූ සත්වයින් පවසන දේවල් අපිට තේරුම් ගත නොහැකියි.

මොහොතක් සිතන්න, සියලු සත්වයින්ට කතා කිරීමට පුළුවන් වුනොත් කුමක් සිදුවේවිද ? අද අපි ඒ පිළිබඳව කතා කරමු.

අපේ පෘතුවියේ වෙසෙන සියලුම සත්වයින්ට කතා කරන්න පුළුවන් වුනොත් ලෝකය ඉතාමත්ම ඝෝෂාකාරී තැනක් වේවි. සත්වයින්ට කතා කරන්න පුළුවන් කියන්නේ ඔවුන්ට මිනිසුන් තරමටම බුද්ධිමටමක් ඇති බවයි. එම නිසා කුසගිනි වූ විට ආහාර ඉල්ලනවාට වඩා දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නට පුළුවන්.

උදාහරණයක් විදියට මිනිසුන් මෙන් ඔවුනුත් සමාජයක් ගොඩනගා ගැනීමට පෙළඹේවි. ඒවගේම මිනිසුන් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් බව සිතන්නට පෙළඹෙන්නටත් පුළුවන්. එම සත්වයින් මිනිසාට එරෙහිව සංවිධානය වුනොත්, මිනිසා පරදා ඔවුන්ට ජයලබන්නටත් හැකියාව තිබෙනවා. මොකද මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා සත්වයින්ගේ සංඛ්‍යාව වැඩියි.

අපි විසින් ගොඩනගාගනු ලැබූ එම මනකල්පිත ලෝකයේ අපි ඉදිරියටම ගමන් කරමු.

සත්වයින්ට කතා කරන්න පුලුවන් වුනා නම් සුනඛයින් සහ බළලුන් වැනි සත්වයින් අපිට වඩාත් සමීප වේවි. ඔවුන් තවදුරටත් සුරතලුන් ලෙස සලකන එකක් නැහැ. සුනඛයින් නම් ඉතාමත්ම විශ්වාසවන්ත මිතුරෙක් තරමටම අපිට ලංවේවි. මිනිසුන්ට වඩා සත්වයින් කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට පුළුවන් බව ඔබට අවබෝධ වේවි.

ඒවගේම සත්වයින් විශේෂයෙන් පුහුණු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. කුඩා දරුවන්ට මෙන් කුඩා කල ඔවුන්ට උගන්වන්නට පුළුවන්.

සත්වයින්ට කතා කරන්න පුළුවන් වුනොත් එය මිනිසාට විශාල ගැටළුවක් වෙනවා. මිනිසුන් හා සමානම අයිතිවාසිකම් සත්වයින්ටද ලබාදීමට සිදුවෙනවා. වෛද්‍ය ක්ෂේත්‍රය තුල ඖෂධ නිපදවීමට සහ ලෙඩරෝග පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට සත්වයින් විශාල වශයෙන් භාවිතා කරන බව ඔබ දන්නවා ඇති. එවැන්නක් සිදුවුනොත් විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා සත්වයින් භාවිතා කරන්නට ලැබෙන්නේ නැහැ.

ඒවගේම සතුන්ගේ මස් මාංශ අනුභව කරන එක මිනිසුන්ට ඉතාමත්ම දුෂ්කර දෙයක් බවට පත්වෙනවා. එම නිසා බොහෝ දෙනෙක් නිර්මානශී වීමටද පුළුවන්. මස් පිණිස අපි අනුභව කරන සත්වයින් ඔවුන් අත්විඳින වේදනාව ලෝකයට ඇසෙන්න හඩනගා පවසාවි.

ඒවගේම මිනිසුන් නිසා වාසස්ථාන අහිමිවෙන සත්වයින්, පර්යේෂණ වලින් බරපතල තත්වයට පත්වෙන සත්වයින්, මිනිසුන් නිසා තම ආදරණීයයන් අහිමි වෙන සත්වයින්ද ඔවුන්ට සිදුවූ අසාදාරනය සම්බන්ධයෙන් නැගී සිටිනවාට කිසිම සැකයක් නැහැ.

ජීවිත යදිමින් මිනිසෙකු ලෙස හඩාවැලපෙන සත්වයෙකුගේ මස් කෙසේනම් අනුභව කරන්නද ?

ඉන් අදහස් කරන්නේ සත්වයින්ට කතා කරන්න පුළුවන් වුනොත්, අද මෙන් දරුණු සත්ව හිංසනයක් අපේ ලෝකය තුල නොපවතින බවයි.

එපමණක් නොවෙයි, සත්වෝද්‍යාන සහ සර්කස් වැනි දේවල් දකින්නවත් ලැබෙන එකක් නැහැ. සත්වෝද්‍යාන වල සිරගත කර තිබෙන සත්වයින්ට කතා කරන්න පුළුවන් නම්, කූඩුවක සිරවී ඔවුන් ගෙවන ජීවිතයේ වේදනාව සැමටම පවසාවී. එවිට සත්වෝද්‍යාන තුල ඔබට අහන්නට දකින්නට ලැබෙන්නේ සත්වයින්ගේ දුක් අදෝනාවන් පමණයි. එය තවදුරටත් මිනිසුන්ට විනෝදාත්මක අත්දැකීමක් වෙන එකක් නැහැ.

එය හරියට මිනිසුන් සිරගත කර තබන සිරගෙදරකට ගමන් කරනවා වැනි අත්දැකීමක් බවට පත්වේවි. වෙනසකට තිබෙන්නේ සත්වෝද්‍යාන වල සිටින්නේ කිසිදු වරදක් නොමැතිව සිරගත කරනු ලැබූ අහිංසක සත්වයින්.

විද්‍යාඥයින් පවසන පරිදි සත්වයින්ට කතා කරන්න පුළුවන් වුනොත්, එය අපිට අවබෝධ කරගැනීමට නොහැකි වෙන බවයි. මොකද ඔවුන්ට ජීවිතය සහ ලෝකය පිළිබඳව තිබෙන්නේ මිනිසාට වඩා වෙනස්ම අවබෝධයක්.

මතක තබාගන්න, අද එම සත්වයින් අපි සමග වචන වලින් කතා බහ නොකරත්. ඔවුන්ගේම ක්‍රමවේදයකට අපි හා සන්නිවේදනය කිරීමට උත්සහ කරන බව. ඒවගේම සත්වයින් සත්වයින් අතරද දියුණු සන්නිවේදන ක්‍රම පවතිනවා.

සත්වයින් අපි සමග කතා කරනකන් බලා සිටිනවාට වඩා, මිනිසුන්ස වන අපි සත්වයින් පවසන දෙයට හොඳින් ඇහුම්කම් දීමට පුරුදු වෙමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!