දැලි පිහියෙන් ඇස් සුද්ද කරන බාබර්!

චීනයේ පිහිටි මෙම බාබර් සාප්පුවට ගියොත් කොණ්ඩය කපාගන්නවාට අමතරව ඇස් දෙකත් ෂේව් කරගන්න ඔබට පුළුවන්.

මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසරන වීඩියෝවක, බාබර් කෙනෙක් ඔහු වෙත පැමිණෙන පාරිභෝගිකයින්ගේ ඇස් අභ්‍යන්තරය තියුණු මුවහතක් ඇති දැලි පිහියකින් සුද්ද කරන හැටි සටහන්ව තිබෙනවා. එම ක්‍රමවේදය හඳුන්වන්නේ (eyeball shaving) යනුවෙනි.

විශ්වාස කරන්න, චීනයේ සිචුවාන් ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයින් අතර මෙම ක්‍රමවේදය ඉතාමත්ම ජනප්‍රියයි. නමුත් ඒ සඳහා තරුණ පරම්පරාවේ උනන්දුවක් නැහැ.

මෙම සාම්ප්‍රදායික ප්‍රතිකාරය සිදුකිරීමට හැකියාව ඇති බාබර් වරුන් සිටින්නේ අතලොස්සක් පමණයි. මොකද මෙය සිදුකල යුත්තේ ඉතාමත්ම සුපරික්ශාකාරීවයි. සිදුවෙන සුළු අත් වැරද්දකින් ඇස දෙකට කැපී යන්නට පුළුවන්.

මෙහිදී ඇත්තටම සිදුකරන්නේ බාබර් වරයා විසින් තියුණු මුවහත් දැලිපිහියක් භාවිතා කරමින් ඇසිපිය අභ්‍යන්තරයේ වූ කොටස සුමුදුව පිසදැමීමයි.

වයස අවුරුදු 60ක් පමණ වන Xiong මහතා වසර 40ක් පුරාවට තම පාරිභෝගිකයින්ට මෙම සේවාව සපයනවා. ඔහු පවසන පරිදි වයස අවුරුදු 30ට වඩා අඩු අයට ඔහු මෙම සේවාව සපයන්නේ නැහැ. මොකද සුද්ද කර ඉවත් කිරීමට තරම් අපවිත්‍ර දේවල් ඔවුන්ගේ ඇස් වල ඇත්තේ නැහැ.

මෙය සිදුකිරීමට පෙර ඔහු අයඩින් මිශ්‍රණයක් භාවිතා කරමින් දැලිපිහිය ජීවානුහරණය කරගැනීමට කටයුතු කරනවා.

ඔහු වෙත නිතර පැමිණෙන වයස 97ක් පමණ වෙන පාරිභෝගිකයෙකු පවසා සිටින්නේ, මෙම ප්‍රතිකාරය ලබාගත් පසුව වෙනදාට වඩා හොඳට ඇස් දෙක පෙනෙන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු පවසන්නේ, ඇස් පිහාටු අභ්‍යන්තරය සුද්ද කිරීමේදී ඇස් පිහාටු වල පිහිටි ග්‍රන්ථි උත්තේජනය වී තෙල් වැනි ද්‍රව්‍යයක් වහනය වෙන බවත්, ඉන් අදාළ පුද්ගලයාට වෙනදා නොවිඳි පහසුවක් සැලසෙන බවයි.

මෙම ප්‍රතිකාරය සිදුකර පසුව වෙනදාට වඩා හොඳට ඇස් දෙක පෙනන බව බොහෝ දෙනෙක් පවසන්නේ එම හේතුව නිසා විය යුතුයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!