ගීසා පිරමීඩය තුලින් රහස් කුටියක් හමුවෙයි!

ඊජිප්තුවේ ගීසා පිරමීඩය ඉදිකර තිබුනේ ක්‍රිස්තු පූර්ව 2550 ගණන් වලයි. එම පිරමීඩය ඉදිවුණේ කුෆූ පාරාවෝගේ මුලිකත්වයෙන්. වසර දහස් ගණනාවක් පුරාවට එය මිනිසුන් විසින් ඉදිකරනු ලැබූ උසම ගොඩනැගිල්ල ලෙස නම්දරා තිබුනා. එය ඉදිකරපු තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව තවමත් ඒකමතික නිවැරදි තීරණයක් නැහැ. නමුත් මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණයක් සමග, එම අභිරහස විසඳිමට කොළ එළියක් දල්වුනා කිව්වොත් නිවැරදියි.

පිරමීඩ ඉදිකරපු හැටි පිළිබඳව වැඩිදුරටත් සොයාබැලීමට රටවල් කිහිපයක පර්යේෂකයින් එය ස්කෑන් කර බැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා.

විද්‍යාඥයින් මෙම අපූරු සොයාගැනීම කර තිබුනේ cosmic ray imaging කියන තාක්ෂනය භාවිතා කරමින්.

එම ස්කෑන් පරීක්ෂාවෙන් හෙළිවුණේ පීරමීඩය තුල මෙතක් නොදැන සිටි හිස් අවකාශයක් ඇති බවයි. එය විද්‍යාඥයින් කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවූ දෙයක්.

එම හිස් අවකාශය ග්‍රෑන්ඩ් ගැලරියට ඉහලින් මීටර් 30ක් පමණ දුරට විහිදී තිබෙනවා. ග්‍රෑන්ඩ් ගැලරි යනු රැජිනගේ කාමරය සහ රජුගේ කාමරය එකට යා කරන ක්‍රමයෙන් විශාල වෙන කොරිඩෝරයක්.

පිරමීඩය තුලින් ඇතුළු විය නොහැකි මෙවැනි රහස් හිස් අවකාශයක් එහි ඉදිකර තිබෙන්නේ ඇයිද යන්න විශාල ගැටලුවකි. ඇතැම් විට එම හිස් අවකාශ තුල වටිනා දේවල් තැන්පත්කර තිබෙනවා වෙන්නට පුලුවන්. වසර 4000ක් පුරාවට එවැනි හිහ් අවකාශයක් ගීසා පිරමීඩය තුල ඇති බව කිසිවෙකුත් දැන සිටියේ නැහැ.

ඉහත සඳහන් කරන ලද ගැලරිය මීටර් 50ක් දිග මීටර් 8ක් තරම් උස්ව පිහිටි එකක්. අලුතෙන් සොයාගෙන තිබුණු එම හිස් අවකාශය ගැලරිය තරමටම විශාලත්වයකින් යුක්තයි.

පර්යේෂකයින් අනුමාන කරන්නේ එය ඉදිකිරීමේදී ඇතිවූ හිඩැසක් විය හැකි බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය සමස්ත පිරමීඩය ඉදිකර අවසන් වන තුරු, සේවකයින්ට රැජිනගේ සහ රජුගේ කාමරයට පිවිසීමට ඉදිකරනු ලැබූ කානුවක කොටසක් විය හැකි බවයි.

අභ්‍යවකාශයේ සිට එවනු ලැබූ එම අන්තරීක්ෂ අණු වලට පාෂාණ වල ගැඹුරටම විනිවිද යන්නට පුළුවන්. මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය නම්, පාෂාණ වලට හානියක් නොකර අභ්‍යන්තරය පරික්ෂා කිරීමට හැකි වීමයි.

මෙම අපූරු සොයාගැනීම පුරාවිද්‍යාඥයින්, ඉතිහාසඥන් සහ භෞතිකවිද්‍යාඥයින්ගේ එකමුතුවෙන් ලැබූ විශාලා ජයග්‍රහණයකි.

මෙම හිස් අවකාශය පිළිබඳව තවත් බොහෝ කරුණු ඉදිරියේදී හෙළිවීමට නියමිතයි. එම තොරතුරු ලැබුණු ක්ෂණිකව ඔබව දැනුවත් කිරීමට අපි සුදානමින් සිටිනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!