අභ්‍යවකාශය තුල භයානක අනතුරුවලට ලක්වූ මිනිසුන්!

මිනිසා මෙතෙක් පය තැබූ ස්ථාන අතරින් භයානක ස්ථානය අභ්‍යවකාශයයි. අභ්‍යවකාශය මත ඇවිදීම සහ සඳ මත පය තැබීම වැනි දේ සැබවින්ම වික්‍රමාන්විත ක්‍රියාවකි. නමුත් එය ජීවිතය සහ මරණය අතර සටනක් විදියටත් හඳුන්වන්නට පුළුවන්.

2013 වර්ෂයේදී ගගනගාමියෙකු ජලයේ ගිලෙන්නට ගොස් 99න් මෙන් බේරුනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ජලයේ ගිලීමකි. අභ්‍යවකාශය තුල ගගනගාමියෙකු ජලයේ ගිලුනේ කෙසේද කියා ඔබ පුදුම වෙනවා ඇති.

ගගනගාමියෙකුගේ අභ්‍යවකාශ ඇඳුම කුඩා අභ්‍යවකාශ යානාවකට සමානයි. අනෙකුත් තාක්ෂණික උපකරණ මෙන්, අභ්‍යවකාශ ඇඳුම්වලද දෝෂයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

එදා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වෙනදාමෙන් සාමාන්‍යය දවසක්. එහි වූ ගගනගාමීන් සාමාන්‍ය පරිදි දෛනික අභ්‍යවකාශ සංචාරයක නිරතවුනා. ඔවුන් අන්තර්ජාතික අභ්‍යවකාශය හා තනි කම්බියකිම් සම්බන්ධවී ඇති ඇන්ටනා පද්ධතියක් සකසමින් සිටියා. එම අවස්තාවෙදී ලූකා පාමිටානෝ කියන ඉතාලියානු ජාතික ගගනගාමියාට නොසිතූ අත්දැකීමකට මුහුණදීමට සිදුවුනා.

හිටි හැටියේ ඔහුගේ හිස මතට ජල වරුසාවක් ඇද හැලුනා. ඔහු එය වහාම නාසා ආයතනයට වාර්තා කිරීමට කටයුතු කළා. නාසා ආයතනය අනුමාන කලේ එය අභ්‍යවකාශ ඇඳුමේ වූ ජල සැපයුමේ දෝෂයක් බවයි. වහාම එම ජල රඳවනය හිස්කරවන ලෙස නාසා ආයතනය ඔහුට උපදෙස් ලබාදී තිබුනා. නමුත් ඔහුට එය සිදුකරගැනීමට නොහැකි වූ අතර ඔහුගේ ඇඳුම තුලට ජලය කාන්දුවීම නතරවුණේ නැහැ.

ඔහුට කිසිවක් කරකියා ගැනීමට නොහැකි වුනා. එම නිසා මෙහෙයුම වහාම නවතා නැවත මධ්‍යස්ථානයට වාර්තා කරන ලෙස ප්‍රධාන පාලක මැදිරියෙන් ඔහුට අණදී තිබුනා. නමුත් එය පවසන තරම් පහසු දෙයක් නම් නොවෙයි.

මගේ නාසය මට්ටමටම ජලය පිරී තිබුනා. නමුත් මම හුස්ම හිරකරගෙනම කෙසේ හෝ මධ්‍යස්ථානයේ දොරටුව වෙත ගමන් කිරීමට උත්සහ කළා. එම අවස්තාව වන විට මට හුස්මගැනීමට හැකිවුණේ නැහැ. ඒවගේම කිසිවක් ශ්‍රවනය වුනේ නැහැ. එම අවස්තාවේදී මගේ සිතට දැනුනු අසරණකම සහ තනිකම වචනයට පෙරලිය නොහැකියි.

ඔහුගේ වාසනාවට ඔහු අන්ධයෙකු මෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු දොරටුව වෙත පිවිස තිබුනා. අන්ධයෙකු මෙන් එම දොරටුව ස්පර්ශ කොට කෙසේ හෝ අගුලු විවුර්ත කරගැනීමට ඔහු සමත්වී තිබෙනවා.

පසුව හෙළිවුණේ සිසිලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඇඳුම තුලට ජලය කාන්දුවී ඇති බවයි. අභ්‍යවකාශය තුලවූ අඩු ගුරුත්වාකර්ශන මට්ටම නිසා ජලය පහලට ගමන් කර තිබුනේ නැහැ. එම නිසා සියලු වතුර හිස් ආවරණය මත එක්රැස්වී තිබුනා. වාර්තා වෙන පරිදි ලීටර් දෙකක් වැනි ජල ප්‍රමාණයක් හිස් ආවරණය තුල සිරවී තිබෙනවා.

අභ්‍යවකාශ ඇඳුමේ වූ දෝෂයක් නිසා දිවි අහිමිවීමට ගිය එකම ගගනගාමියා ලූකා පමණක් නොවෙයි. කැනේඩියානු ඉතිහාසයේ පළමු වරට අභ්‍යවකාශය වෙත ගිය ක්‍රිස් හැඩ්ෆීල්ඩ් මහතාටත්, මෙවැනිම අත්දැකීමකට මුහුණදීමට සිදුවුනා.

2001 වර්ෂයේදී ඔහු ඔහුගේ අභ්‍යවකාශ සංචාරයට සැරසුණා. නමුත් හදිසියේම ඇස් දෙක පිළිස්සෙනවා වැනි හැගීමක් ඔහුට දැනී තිබුනා. ඔහුගේ ඇස් දෙක ක්ෂණිකවම කඳුළු වලින් පිරීගොස් තිබුනා. අඩු ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා කඳුළු ඇස්දෙක තුල පිරී තාවකාලිකව ඇස් දෙකම අන්ධ වුනා. කාත් කවුරුවත් නොමැති අභ්‍යවකාශයේ එවැනි අත්දැකීමකට මුහුණ දෙන විට පුද්ගලයෙකුට දැනෙන අසරණකම, ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වන්නේ නැහැ.

ඔහුගේ ඇස් වල පිළිස්සෙන ගතියක් ඇතිවී තිබෙන්නේ විෂ වායුවක් ඇතුලට කාන්දුවීම නිසාවෙනි. එම තත්වය නිරාකරණය කරගැනීමට ඇතුලත වාතය පිටතට මුදාහරින ලෙස ඔහුට අණලැබී තිබුනා. ඇතුලත වූ ඔක්සිජන් ඔහු අභ්‍යවකාශයට මුදාහැරියේ කෙසේද යන්න සිතාගත නොහැකියි. නමුත් එය කෙසේ හෝ සාර්ථක වී තිබෙනවා. ඒ ක්ෂණිකවම ඇස් වල නොරිස්සුම් තත්වය සමනය වුනා. ඇස් දෙකේ පෙනීම නැවත ලැබුණු අතර ඔහුට නැවත කැබින් එක වෙත පැමිණීමටද හැකිවී තිබෙනවා.

තවත් මෙවැනිම සිදුවීමක් පිළබඳව වාර්තා වෙනවා. රුසියානු ගග්නගාමියෙකු වූ ඇලෙක්සි ලියනොව් ක්‍රිස් තරම් වාසනාවන්ත වුනේ නැහැ. 1965 වර්ෂයේ මාර්තු 18 වෙනිදා ඔහු තම පළමු අභ්‍යවකාශ ගමනට සුදානම් වුනා. නමුත් සැලසුම අනුව සියලු දේ සිදුවුනේ නැහැ. ඔහු යානාවෙන් අභ්‍යවකාශය වෙත පැමිණි විගසම, අභ්‍යවකාශ ඇඳුමේ සහ අභ්‍යවකාශයේ වූ පීඩනයේ වෙනස නිසා භයානක දෙයක් සිදුවුනා.

ඔහුගේ අත් පැළඳුම වාතයෙන් පිම්බුණු නිසා ඇගිලිවලින් කිසිවක් කරගැනීමට නොහැකි වුනා. ඒවගේම ඇඳුමද විශාල ලෙස පිම්බී තිබුණු නිසා අභ්‍යවකාශ යානාව වෙත නැවත පැමිණීම ඉතාමත්ම අපහසු දෙයක් වුනා. ඔහු යානයෙන් පිටත අභ්‍යවකාශ තුල මිනිත්තු 20ක් සිරවී සිටියා. ඔහු එහිදී ජීවිතය සහ මරණය අතර තරගයක නිරතවී සිටියා කිව්වොත් නිවැරදියි.

ඉතාමත්ම නිර්භීත පියවරක් ගත් ඔහු ඇඳුම තුල සිරවූ වාතය පිටතට යැවීමට කටයුතු කළා. අභ්‍යවකාශ ඇඳුම හැකිලුනු විගස ඔහු වාහම නැවත යානාව වෙත පැමිණීමට තරම් දක්ෂයෙක් වුනා.

නමුත් ඔහුට ආරක්ෂිතව නැවත නිවසට පැමිණීමට හැකිවුණේ නැහැ.  නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි , යානය අනපේක්ෂිත ලෙස සයිබීරියාවේ හිම වනාන්තරයකට ඇද වැටුනා. ඔවුන්ගේ තනියට සිටියේ අධික ශීතල සහ වන සත්වයින් පමණයි. අභ්‍යවකාශය තුල අත්විඳි අත්දැකීමට වඩා දරුණු අත්දැකීමක් ඔහුට පෘතුවිය තුලදී අත්විඳීමට සිදුවුනා.

විශ්වාස කරන්න, ඔවුන් තම ශරීරයේ වූ මහන්සිය සහ අධික ශීතල නොතකා කෙසේ හෝ උදව් සොයා ගමන් කරා. පසුව ඔවුන් සොයා පැමිණි ආරක්ෂක බටයින්ට ඔවුන්ව හමුවී තිබුනා. එම වීර ගගනගාමීන්ගේ නම් අදටත් අපි ඉතාමත්ම ගෞරවයෙන් මතක් කර සිටිනවා.

අභ්‍යවකාශය තුල මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවූ මිනිසුන් සිටි බව, ඔබ සිහිනෙකින්වත් සිතුවාද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!