නාඳුනන රටකින් පැමිණි අද්භූත ගුවන් මගියා!

1954 වර්ෂයේ ජුලි මස ජපානයේ ටෝකියෝ නුවර ගුවන් තොටුපලට සුදු ජාතිකයෙකුගේ පෙනුමක් ඇති සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු පැමිණියා. ඔහු දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ ඔහු ව්‍යාපාරික චාරිකාවක් සඳහා පැමිණි කෙනෙක් ලෙසයි.

ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයේ බැලූ බැල්මට වරදක් පෙනී තිබුනේ නැහැ. ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කරනු ලැබූ රටේ නිල මුද්‍රාව සහ සියලු දේවල් එහි අන්තර්ගතව තිබුනා. නමුත් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කර තිබුනේ ටෝරඩ් ලෙස හඳුන්වන රටකින්. එවැනි රටක් පිළිබඳව කිසිඳු විස්තරයක් බලධාරීන්ට සොයාගත නොහැකි වුනා. ඇත්තෙන්ම කිව්වොත් ලෝක සිතියම තුල එවැනි රටක් නැහැ.

එම අදාළ පුද්ගලයා කිසිඳු පැකිලීමකින් තොරව සිනහමුසු මුහුණින්, ගුවන් ගමන් බලපත්‍රය පරික්ෂා කිරීමට ලබාදී තිබුනා. ඔහු දැඩිව පවසා සිටියේ අවුරුදු දහස් ගණනක් පුරාවට තම රට පැවති බවත්, මෙය ඔහු ජපානයට පැමිණි පළමු වතාව නොවෙන බවයි.

ඔහු ඒ බව සනාත කිරීමට අදාළ රට විසින් නිකුත් කරපු රියඳුරු බලපත්‍රය සහ එම රටේ බැංකුවක් විසින් පිරිනැමූ චෙක් පතක්ද ඉදිරිපත් කර තිබුනා. එපමණක් නොවෙයි, ඔහු සතුව යුරෝපා රටවල් කිහිපයක විදේශ මුදල් කිහිපයක්ද තිබී තිබුනා.

ඉන්පසුව බලධාරීන් විසින් සිතියමක් ඔහු අත තබා එහි ඔහුගේ රට පවතින ස්ථානය පෙන්වන ලෙස පැවසුවා. ඔහු ඉතාමත්ම පහසුවෙන් ප්‍රංශය සහ ස්පාඥ්ඥය අතර පිහිටි ස්ථානයක් පෙන්වා සිටියා. ඔහු එහිදී ඇත්තටම පෙන්වා තිබුනේ ඇන්ඩෝරා ලෙස හඳුන්වන යුරෝපානු රටක්. නමුත් ටෝරඩ් ලෙස හඳුන්වන රටක නමක් එහි තිබුනේ නැහැ.

මෙම අද්භූත මිනිසා පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා, ඔහුව හෝටල් කාමරයක නතර කිරීමට කටයුතු කළා. ඔහුගේ ආරක්ෂාව පිණිස නිලධාරීන් දෙදෙනෙක් දොර අසල රැකවල්ලා සිටි බවද පැවසෙනවා. නමුත් සැවොම පුදුමයට පත්කරමින්, පසුදින දොර විවර කරන විට ඔහු එම කාමරය තුල සිටියේ නැහැ. 15 වෙනි තට්ටුවේ පිහිටි එම කාමරයෙන් ඔහු පැනගිය කෙසේද යන්න අදටත් අභිරහසකි.

ටෝකියෝ ආරක්ෂක නිලධාරීන් ඔහුව සෙවීමට කොපමණ උත්සහ කලත් ඔහු නැවත හමුවී තිබුනේ නැහැ.

ඔහු පැවසු දෙය සත්‍යයක් නම්. ඔහු සමාන්තර ලෝකයකින් හදිසියේම මෙහි පැමිණි සංචාරකයෙක් විට යුතුයි. ඒවගේම ඔහු කාල තරණය කළා විය හැකි බවද ඇතැමුන් පවසනවා.

මෙම සිදුවීම පිළිබඳව ලෝකයේම අවදානය යොමුවුනේ, ද ඩිරෙක්ටරි ඔෆ් පොසිබිල්ටීස් ග්‍රන්ථයේ එය පළමු වරට සඳහන් වීමත් සමගයි. එම ග්‍රන්ථය රචනා කර තිබුනේ කොලින් විල්සන් සහ ජෝන් ග්‍රාන්ට් විසින්. ඒ 1989 වර්ෂයේදීයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!